උමග තුළ සිරවූ පිරිස් ප්‍රතිචාර දක්වන වීඩියෝවක්

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ නඩා වැ‍ටුණු උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනාගේ දර්ශන දින නවයකට පසු පළමු වරට කැමරාවක සටහන් වී තිබේ.

ඊයේ(20) උමග තුළට විදින ලද නව නලයක් තුළට ලිස්සා ගිය එන්ඩොස්කොපික් කැමරාවක් භාවිතයෙන් අදාළ වීඩියෝව රූගත කර ඇතැයි බීබීසී මාධ්‍ය වාර්තා කරයි.

එහි සිරව සිටින සේවකයන්ට දින කිහිපයකින් පසු ඔවුන්ගේ පළමු උණුසුම් ආහාර වේල ලබා දීම සඳහා ද විශේෂ නළයක් භාවිත කර ඇතැයි සදහන් වේ.

මෙතෙක් ඔවුන්ට ආහාර ලබා දී තිබුනේ ඉතා පටු නළයක් හරහා යවන ලද කෙටි ආහාරයි.

නොවැම්බර් 12 වැනිදා අලුයම ඉදිවෙමින් පැවැති මෙම උමං මාර්ගය නාය යෑමකින් පසු කඩා වැටී තිබුණි.

අනතුරුව ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් සිරවී සිටි සේවකයින් සමඟ සබඳතා ගොඩනඟා ගත් අතර එතැන් සිට ඔවුන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය ලබාදීමට පියවර ගැණුනි.

ඊයේ සවස, මෙම සිරව සිටින සේවකයින් ගලවා ගැනීමේ මෙහෙයුමේ පෙරළියක් දක්නට ලැබුණේ උමග තුළ ඇති සුන්බුන් අතරින් අඟල් හයක විෂ්කම්භයකින් යුත් නලයක් තල්ලු කිරීමට හැකි වූ පසුවය.

එසේම ගලවා ගැනීමේ නිලධාරීන් නම්‍යශීලී කේබලයක සවි කර ඇති කුඩා කැමරාවක් නලයට යවා සිරවී සිටි මිනිසුන් රූගත කිරීමට එය භාවිතා කළහ.

මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝවක, ගැලවුම්කරුවන් උමගෙන් පිටත පරිගණක තිරයක දර්ශන නරඹන අයුරු දැකගත හැකිය.

මෙම කැමරාව යොමු කළ නිලධාරියෙක් සිරව සිටින සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ කැමරාව ඉදිරියේ පෙනී සිට සිනාසෙමින් අත වනන ලෙසවන අතර එහිදී එම කම්කරුවන් අදාළ උපදෙස්වලට ප්‍රතිචාර දක්වනු දැක ගත හැකිව තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *