කුරුන්දි විහාරයේ ගැටලුවලට ආංශිකඅධීක්ෂණ කාරක සභාවෙන් සාධනීය විසඳුම්

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු නිරාකරණය කරමින්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් යෝජනා කිහිපයක් ආංශික අධීක්ෂණ කාරක සභා වෙත ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම් වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක්, බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යෝජනා කර ඇත

මේ පිළිබඳව සාකච්ජාවුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වයෙන් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකාබද්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සාකච්ජා කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම කමිටු හමුවට කැඳවා තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාං ලේකම්වරයා, කුරුන්දි රජමහා විහාරය බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පැහැදිලිවම හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කළේය. ඒ බැවින් මෙම භුමිය පුරාවිද්‍යාත්මක ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අයිති වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා කමිටු හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

2013 වසරේ නිකුත් කල ගැසට් පත්‍රය අනුව කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට අක්කර 229 ක් අයත්වන බව මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

GPS තාක්ෂණය ඔස්සේ හඳුනාගත් එම ප්‍රදේශයේ පවතින ස්මාරක පදනම් කරගනිමින් මෙම භුමි ප්‍රමාණය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත් මෙම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශය තව දුරටත් තහවුරු කරගැනීම වෙනුවෙන් විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ගවේෂණ කටයුතු සඳහා සුදානමින් පවසුවන බව පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල් කමිටුව හමුවේ පැවසීය.

එම නැවත ගවේෂණය මාස 6ක් තුල සිදුකිරීමට සැලසුම් කර තිබේ. එමගින් පුරාවිද්‍යා වටිනාකමින් යුතු දෑ හඳුනාගෙන එම ප්‍රදේශ පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කිරීමටත්, පුරා විද්‍යා වටිනාකමක් නොමැති ප්‍රදේශ නිදහස් කිරීමටද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර දැනටමත් උතුරේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන ක්‍රමානුකුලව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට, කමිටුව බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. එමෙන්ම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය කතරගම පූජා භුමිය මුලික කරගත් ආකෘතියට ගොඩ නැගිය යුතු බව කමිටු සාමාජිකන්පැවසුහ. කුරුන්දි රජමහා විහා රය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කල පිරිස් වලට අහිමිවන ඉඩම් වෙනත් ප්‍රදේශයකින් ලබාදීමට ද අවශ්‍ය කටයුතු  සම්පාදනය වන බව බලධාරීහු පැවැසුහ.

මේ අවස්ථාව සඳහා කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී  (පූජ්‍ය) අතුරලියේ රතන ස්වාමින්ද්‍රයන් වහන්ස,  ජයන්ත කැටගොඩ,  එම්.රමේෂ්වරන්,  සංජිව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ද කාරක සභා සභාපතිවරුන්ගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ( අචාර්ය) සරත් වීරසේකර, (මහාචාර්ය) චන්න ජයසුමන,  චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන්ද, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් ඇතුලු නිලධාරීන්,පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ, කිළිනොච්චි දිසාවේ නියෝජ්‍ය පොලිස්පති, මුලතිව් ප්‍රධාන පොලිස් පරික්ෂක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් සහ ඉඩම් සංවර්ධන දෙපාර්තමෙන්තුවේ කොමසාරිස්, මුලතිව් දිස්ත්‍රික් ලේකම්, මුලතිව් ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වුහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *