ජාතික කණ්ඩායම් ක්‍රීඩකයින් අන්තර් සමාජ පිටියේදී දක්ෂතා අතරට

අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී විශිෂ්ට දක්ෂතා අතරට පැමිණීමට කලකට පසු අන්තර් සමාජ ක්‍රීඩා පිටියට එක් වූ දසුන් ශානක ඇතුළු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණි.

සිංහල ක්‍රීඩා සමාජය සහ මහනුවර රේගු ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක සිය ශතකය පෙනි පෙනී ලකුණු 96ට දැවී ගියේය. පන්දු 117ක් තුළ ක්‍රියාත්මක වූ මෙම ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත විය. ඉන් අනතුරුව දෙවන ඉනිමේදී නැවතත් සාර්ථක වූ දසුන් පන්දු 36ක් තුළ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 67ක් රැස් කරගැනීමට සමත් විය.

මෙම තරගයේදී පන්දු යැවීමෙන් කඩුලු 2ක් දවා ගැනීමටද දසුන් සමත් විය.

මේ අතර ‘බී ආර් සී’ ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර තරගයේදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට දුශාන් හේමන්ත සමත් විය. ‘බී ආර් සී’ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පිතිකරණයෙන් පළමු ඉනිමේ ලකුණු 102ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 75ක් වාර්තා කළ දුශාන් පන්දු යැවීමෙන් පළමු ඉනිමේදී කඩුලු 5ක් සහ දෙවන ඉනිමේදී කඩුලු 2ක් දවාගත්තේය.

‘ඒස් කැපිටල්’ සහ ‘ටැමිල් යූනියන්’ ක්‍රීඩා සමාජ අතර පසුගිය සති අන්තයේ පැවැති තරගයේදී දක්ෂතා අතරට පිවිසීමට ධනංජය දි සිල්වා සමත් විය. ධනංජය ‘ටැමිල් යූනියන්’ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 55ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 87ක් වාර්තා කිරීමට සමත් විය.

මේ හැරුණුකොට නිමා වූ සති අන්තයේදී අන්තර් සමාජ තුන්දින තරගාවලියේ ශතක වාර්තා කිරීමට නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, සමීන් කඳානේආරච්චි, ඕෂධ ප්‍රනාන්දු, ශලිත් ප්‍රනාන්දු, අසේල ගුණරත්න සහ කමිල් මිශාර සමත් විය. ඉනිමකදී කඩුලු 5ක් හෝ ඊට වැඩි ගණනක් දවා ගනිමින් දක්ෂතා අතර පැමිණීමට අශාන් ප්‍රියංජන්, සොනාල් දිනූෂ, ශෂික දුල්ශාන, රජීව වීරසිංහ, කෞමාල් නානායක්කාර, රවිඳු ප්‍රනාන්දු, රොහාන් ජයතිස්ස, වනුජ සහන්, සහන් නානායක්කාර, චානක කෝමසුරු, පර්වේස් රසූල්, අශේන් ඩැනියෙල්, රමේෂ් මෙන්ඩිස් සහ මලින්ද පුෂ්පකුමාර සමත් වූහ.

මේ අතර අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තුන්දින තරගාවලියේ පළමු වටයේ අවසන් අදියර වන විට ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට ‘ඒ’ කාණ්ඩයෙන් සිංහල ක්‍රීඩා සමාජයත්, ‘බී’ කාණ්ඩයෙන් පොලිස් ක්‍රීඩා සමාජයත් සමත් විය. කණ්ඩායම් 22ක් කාණ්ඩ දෙකක් ලීග් ක්‍රමයට අනුව තරග වදින තරගාවලියේ පළමු වටයේ අවසන් තරග ලබන සිකුරාදා (1 වැනිදා) ආරම්භ වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයෙන් පළමු ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් දෙක දෙසැම්බර් මස 7 වැනිදා තරගාවලියේ අවසාන තරගයේදී තරග වදිනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *