පාතාලයන්ගේ නීති විරෝධී වත්කම් රැසක් යුක්තියෙන් එළියට

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ 610කට වැඩි වටිනාකමකින් යුත් රථවාහන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පරීක්ෂාවට අද ලක්වුණා.

පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය සිදුකළ වැටලීම්වලිනුයි මෙම රථවාහන සොයා ගැණුනේ.

විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණෙන් ආරම්භ කෙරුණු යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව අපරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාරයේ තිබූ උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි රුපියල් ලක්ෂ 610ක් වටිනා වාහන 5ක් පොලීසිය සොයාගෙන තිබුණා.

රුපියල් ලක්ෂ 330ක් වටිනා ලෑන්ඩ් කෘෘසර් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ද ඒ අතර වනවා. රුපියල් ලක්ෂ 130ක් වටිනා වෑන් රථයක්,  රුපියල් ලක්ෂ 76ක සහ රුපියල් ලක්ෂ 64ක  වටිනාකමින් යුතු මෝටර් රථ දෙකක් සහ රුපියල් ලක්ෂ 10ක් වටිනා ත්‍රි රෝද රථයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

එම රථ පරීක්ෂාවට ලක්කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද එක්වුණා.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඊට එක්ව සිටියා.

මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ රුපියල් ලක්ෂ 450ක් වටිනා ඉඩම් හා නිවාස ද සොයා ගැණුනු අතර ඒ අනුව යුක්තිය මෙහෙයුමෙන් සොයාගත් මුලු වත්කම්වල වටිනාකම රුපියල් ලක්ෂ 1,060ක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

යුක්තිය මෙහෙයුම යටතේ අද උදෑසන 7න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 955දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 හෙරොයින් ග්‍රෑම් 435ක් අයිස් ග්‍රෑම් 261ක් සහ මත්පෙති 1403ක් ද මෙම මෙහෙයුමේ දී සොයා ගැණුනා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 39 දෙනෙකු සදහා රැදවුම් නියෝග ලබාගෙන ඇති අතර 31 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

එරාවුර් ප්‍ර දේශයේ කළ වැටලීමකදී සැකකරුවන් 7 දෙනෙකු සමග නීතිවිරෝධී දුම්වැටි 2,186ක් සොයාගෙන තිබෙනවා. මඩකලපුව එබ්‍රවුර් ප්‍රධාන මාර්ගයේ ගමන් කළ සියලු වාහන ද පරීක්ෂාවට ලක්කෙරුණා.

මීටියාගොඩ කොස්ස ප්‍රදේශයේ කළ මෙහෙයුමේදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඊසිකෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ලබාගන්නා බවටයි ඔවුන් ප්‍රකාශකර තිබෙන්නේ.

මෙසේ අත්අඩංගුවට ගැණුනේ යසුරු ප්‍රදීප් නොහොත් පුංචා නමැති අන්වර්ථනාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ සහායකයෙකු බවටයි හදුනාගෙන තිබෙන්නේ.

දුම්මලසූරිය වීරකොඩියාන ප්‍රදේශයේ පොල් ඉඩමක සේවය කරමින් සිටි පුද්ගලයෙකු පොල්ගසක බැද පහරදී ඔහු ළග තිබූ බෝර 12 ගිනි අවිය සහ උණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු හලාවත මාදම්පේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

නිවසක් කොල්ලකා සොරකම් කළ රුපියල් 80,000ක මුදලක් ද සැකකරුවන් ළග තිබී සොයාගෙන තිබෙනවා. මොවුන් සමාජ විරෝධී ක්‍රියා රැසකට චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් බවටයි තහවුරු කරගෙන තිබෙන්නේ.

දමන වැදියම්ගම ප්‍රදේශයේ අක්කර දෙකක පමණ වගාකර තිබූ ගංජා හේනක් විශේෂ කාර්ය බලකාය වැටලීමට ලක්කළා. ගංජා ගස් 35,000කින් පමණ යුත් මෙම ගංජා හේන පිළිබද විමර්ශන කටයුතු දමන පොලීසිය මගින් ආරම්භ කර තිබෙනවා.

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රේමසිරි නොහොත් ශෝටා නමැති ජාවාරම්කරු යුක්තිය මෙහෙයුමෙන් කළ වැටලීමකින් අත්අඩංගුවට ගැණුනා. රත්මලාන සහ අගුලාන ප්‍රදේශයේ මෙම පුද්ගලයා වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය අලෙවිකර ඇති අතර එම ප්‍රදේශය මගහැර හොරණ ජන ශූන්‍ය ප්‍රදේශයක දේවාලයක කපුවෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි පොලීසිය හෙළිකරගෙන තිබෙන්නේ.

දේවාරූඪ බලයෙන් සාස්තර කියන බවට ප්‍රචාරය කරමින් මෙම ස්ථානයේ සිට මත්ද්‍රව්‍ය බෙදාහැර තිබෙනවා. මෙම දේවාලය අවුරුදු 10ක පමණ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *