මනුෂ එක්ක ඉතිහාසගතවන නුවරඑළියට කාර්යාලයක් ලබාගත් පුංචි දරුවෝ

විදේශ ගත ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි කාර්යාලයක් ලබාදෙන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය යෙදී තිබුණ පසුගිය 18 වැනිදා කළ ඉල්ලීම අනුව 2024 වසර ආරම්භ කර දින 7ක් ඇතුළත නුවරඑළියට ප්‍රාදේශීය කාර්යාලයක් ලබාදෙන බවට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලය ඊයේ (07) දින අමාත්‍යවරයා අතින් විවෘත කළේය.

සිය ඉල්ලීම් ඉටු කිරීම සම්බන්ධයෙන් විදේශ ගත ශ්‍රමික පවුල්වල දරුවන් නාට්‍යයක් රග දක්වා අමාත්‍යවරයාට සිය කෘතඥතාවදය පළ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කළ අමාත්‍යවරයා එම කාර්යාලයේ ලියාපදිංචිය ලැබ පළමුව විදේශ ගත වන ශ්‍රමිකයා සදහා කාර්යාංශයේ ලියාපදිංචියද එම අවස්ථාවේදීම ලබාදුන්නේය.

නුවරඑළියේ ජනතාවට, නුවරඑළියේ ඊළග පරම්පරාවට වැඩ කළ යුතු වන්නේ ඡන්ද බලාගෙන නොවන බවත්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා වන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

ජාත්‍යන්තර සංකමණිකයින්ගේ දිනය යෙදී තිබුණ දෙසැම්බර් 18 වැනිදා පැවති උත්සවයකදී විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් කළ ඉල්ලීම් පහෙන් හතරක් ඉටු කර ඇති බවත්, නුවරඑළියට දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදුන්නේ ඒ අනුව වන බවත් මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.

තමන් දරුවන්ට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සදහා කැපවී කටයුතු කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය. ඔවුන්ගේ පස්වැනි ඉල්ලීම වන ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු විශ්වාසය පල කළේය.

නුවරඑළියට පැමිණි විට සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කළ බවද, යාපනයට ගිය විට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

උත්සවයේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශනවලින් සියයට 95ක්ම දෙමළ භාෂාවෙන් විකාශය කළ බවද සිංහල පමණක් දන්නා අයගෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් රටේ සිදුවන හැම දේම සිංහල භාෂාවෙන් පමණක් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන් කවදාවත් සමාව ඉල්ලා නොමැති බවද ඇමැතිවරයා සිහිපත් කළේය.

සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතීන් බෙදා වෙන් කළ සියලුම දේශපාලඥයින්ට සාප වන බව පැවසූ මනුෂ නානායක්කාර මහතා ඒ බෙදීම නිසා අද දිනයේදී තමන්ට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක් කතා කිරීමට නොහැකිවී ඇති බවද කීවේය.

දැන් ඉතිහාසයට චෝදනා කරමින් නොසිට අනාගතයේ සිටින පුංචි දරුවන් වෙනුවෙන් හෝ රට ගොඩ නැගිය යුතු බවද ඇමැතිවරයා සදහන් කළේය. දේශපාලඥයින් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දු වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතමින් බවද ඔහු පැවසුවේය. අනාගතය දකින නායකයාගේ අඩි පාරේ යමින් තමන්ද නුවරඑළියට පැමිණ තීන්දු තීරණ ගත් බවද ඇමැතිවරයා කීවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *