සටන් විරාමය අවසන් වූ වහාම යළි ප්‍රහාර අරඹනවා

සටන් විරාමය අවසන් වූ වහාම යළි ප්‍රහාර ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමය ගාසා වේලාවෙන් අද(24) උදෑසන 07:00ට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව එය දින 04ක් ක්‍රියාත්මකය. කෙසේ නමුත් ඊයේ දිනයේ දී මේ විරාම කාලය ආරම්භ වීමට නියමිතව තිබුණ ද එය සිදු නොවුනි.

එසේම සටන් විරාමය තුළ දී හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 13 දෙනාගෙන් යුත් පළමු කණ්ඩායම අද සවස නිදහස් කරන බව කටාර් මැදිහත්කරුවන් පවසයි.

එමෙන්ම සටන් විරාම කාල සීමව තුළ එළඹ ඇති ගිවිසුම යටතේ හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු දින හතරක් තුළ නිදහස් කරනු ඇති අතර ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200 ක් මිය ගිය අතර 240 ක් පමණ ප්‍රාණ ඇපයට ගත්හ.

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *