පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර සහරාන් ආ ගිය තැන් හෙළිවෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරිමට දින දෙකකට පෙර සහරාන් හෂිම් සහ තවත් බෝම්බකරුවෙක් කොළඹ, ෂැංග්‍රිලා හෝටලය වෙත පැමිණ ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ විය.

එම හෝටලයේ පිපිරිම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර මහතා ඊයේ(22) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ පිළිබදව සඳහන් කළේය.

2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඔහු ප්‍රථමයෙන්ම කොමිසමට සදහන් කළේ පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 17 වැනිදා ෂැංග්‍රිලා හෝටලයට පැමිණි මොහොමඩ් හම්ෂාඩ් නම් පුද්ගලයෙක් එම හෝටලයේ 6වන මහලේ 616 කාමරය වෙන්කර ගෙන ඇති බවයි.

එම වෙන්කරවා ගැනිම සඳහා යොදාගෙන ඇති මොහොමඩ් හම්ෂාඩ් නම ව්‍යාජ නමක් වන බවත් සැබැවින්ම එලෙස කාමරය වෙන්කර ගැනිම සඳහා පැමිණ ඇත්තේ සින්මන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නම් බෝම්බකරු බවත් සාක්ෂිකරු පැවසුවේය.

එමෙන්ම ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහීම් ඉල්හාම් යන අය පාස්කු ඉරුදිනට දින දෙකකට පෙර එනම් අප්‍රේල් 19 වැනිදා උදෑසන 7.30ට පමණ එම හෝටලයට පැමිණ ඇති බවද මහින්ද ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එලෙස පැමිණි බෝම්බකරුවන් දෙදෙනා ෂැංග්‍රිලා හෝටලයේ ටේබල් වන් අවන්හල වෙත ගොස් උදෑසන ආහාරය ලබාගෙන ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර සූදානමක් සඳහා විය හැකි බවයි.

පසුව ඔවුන් දෙදෙනා හෝටලයේ ලොබිය වෙත පැමිණ එහි මිනිත්තු කිහිපයක් ගතකොට පසුව කුලි රථයකින් කොල්ලුපිටියේ පිහිටි ලකී ප්ලාසා නම් ගොඩනැඟිල්ලකට ඇතුල් වී ඇති බව CCTV දර්ශන මගින් අනාවරණය කරගත් බවයි සාක්ෂිකරු පැවසුවේය.

එම ගොඩනැඟිල්ලේ පස්වන මහලේ නිවසක් සහරාන් හෂිම් විසින් කුලියට ගෙන ඇති අතර ප්‍රහාරයෙන් පසුව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වි ඇත්තේ එම නිවසේ සහරාන්ගේ දියණියගේ ඇගිලි සලකුණ තිබි ඇති බවයි.

එමෙන්ම මහල් නිවාස සංකීර්ණයේ මුරකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමකදී වෑන් රථයක් සම්බන්ධයෙන් කරුණු කරුණු කිහිපයක් අනාවරණය වු බව මහින්ද ජයසුන්දර මහතා පැවසුවේය.

එහිදි කොමිසම විමසුවේ එය කුමක්ද යන්නයි ?

2019 අප්‍රේල් 18 වැනි දින එම නිවාස සංකීර්ණයට නාදුනන පුද්ගලයෙකු සුදුපාට වෑන්රථයක් පදවාගෙන පැමිණ එහි රථ ගාලේ නතර කර තිබු බවත් අනවසර වාහනයක් සම්බන්ධයෙන් මුරකරු විමසා බැලිමේදි එහි සිටි පුද්ගලයා එම රථගාලෙන් වෑන් රථය ඉවත්කරගෙන පිටව ගොස් තිබුණු බවයි සාක්ෂිකරු පැවසුවේය.

පසුව එම වෑන් රථය පිළිබදව සොයාබැලීමේදි එය පාස්කු ප්‍රහාරයට පසුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉදිරිපිට නවතා තිබි පසුව පුපුරුවා නිෂ්ක්‍රීය කෙරුණු වෑන් රථය බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් යන බෝම්බකරුවන් යළි ෂැංග්‍රිලා හෝටලය වෙත කුලී රථයකින් පැමිණ ඇත්තේ අප්‍රේල් 20 වැනිදා පස්වරු 07:56 ට බවයි.

අදාල කුලී රථය පානදුර, පරත්ත පාරේ සිට පැමිණ ඇති අතර බෝම්බකරුවන් හෝටලයට පැමිණිමේදි විශාල ගමන්මලු රැගෙන ආ බවත් එම ගමන්මලු තුල පුපුරන ද්‍රව්‍ය තිබී ඇති බව පසුව හදුනා ගත් බව සාක්ෂිකරු කොමිසමට සඳහන් කළේය.

බෝම්බකරුවන් දෙදෙනා කාමරය වෙත යාමේදි හෝටල් සේවකයෙකු ඔවුන්ගේ ගමන්මලු කාමරය වෙත රැගෙන යාමට උත්සාහ කිරිමේදි ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති බව හෝටලේ පිලිගැනිමේ නිලධාරියා විමර්ශන නිලධාරීන්ට සදහන් කර තිබුණි.

අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ ඊබ්‍රහිම් ඉල්හාම් පමණක් සැහැල්ලු ගමන්මල්ලක් රැගෙන යළි ෂැංග්‍රිලා හෝටලයෙන් පිටතට පැමිණ කුලි රථයකින් ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි span tower නිවාස සංකීර්ණයට ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එමෙන්ම 2019 අප්‍රේල් 12 වනදා සිට 21 වන දා දක්වා සැකකරුවන් විසින් අවස්ථා දෙකකදී කුලී පදනම යටතේ එහි නිවාස දෙකක් ලබාගෙන තිබුණේ කිංග්ස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු බවත‍් මේ වනවිට අනාවරණ වී තිබේ.

එලෙස පාස්කු ප්‍රහාරයට පෙර දින රාත්‍රීයේ ගල්කිස්සේ නිවාස සංකීර්ණයට පැමිණි ඊබ්‍රහිම් ඉල්හාම් පසුව දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට පැමිණ ඇති බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කළේය.

පසුව ඔහු මහවිල උද්‍යානයේ සිට කොල්ලුපිටියේ ප්‍රසිද්ධ අවන්හලකට පැමිණ ඇති ඉල්හාම් එම අවන්හලෙන් ආහාර මිලදී ගෙන 21 වන දා අලුයම 01:46 ට යළි ෂැංග්‍රිලා හෝටලයට පැමිණ තිබූ බවයි සාක්ෂිකරු පැවසුවේය.

එදින උදෑසන 8.50 ට බෝම්බකරුවන් දෙදෙනා විශාල ගමන් මලු 2ක්ද රැගෙන තුන්වන මහලේ පිහිටි table one අවන්හල වෙත යාමට විදුලි සෝපානයට ගොඩවැදි තිබේ.

සෝපානයෙන් පිටතට පැමිණි බෝම්බකරුවන් දෙදෙනා අතින් අතට දීමෙන් පසු සහරාන් හෂීම් table one අවන්හල වෙත පැමිණ උදෑසන 8.54ට පළමු පිපීරිම සිදුකරගෙන තිබුණි.

සාක්ෂිකරු පැවසුවේ ඒ වන විට එම ස්ථානයේ රැඳී සිටි පිරිස් දිවිගලවා ගැනීම සදහා දෙවන මහලේ පිහිටි විදුලි සෝපාන අසලට දිව යන ආකාරය හෝටලයේ CCTV දර්ශනවල සටහන්ව තිබුණු බවයි.

එහිදී ඊබ්‍රහිම් ඉල්හාම් නම් බෝම්බකරු විදුලි පඩිපෙළ උපයෝගී කරගනිමින් දිවිබේරාගෙන දිව ආ පිරිස රැඳී සිටි ස්ථානයට පැමිණ පෙරවරු 8.55 ට දෙවැනි බෝම්බය ද පුපුරා ගත් බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර මහතා ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *