ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 414,000 ක්

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 414,000 ක් වාර්තා වී ඇති අතර, එය ගෝලීය වසංගතය ආරම්භ වීමෙන් පසු මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.

ඉන්දියාවෙන් ගත වූ පැය 24 දී කොරෝනා මරණ 3915 ක් ද වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ මෙලෙස ඉහළ යමින් පවතින්නේ එරට රෝහල් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අර්බුදයකට මුහුණදී සිටියදීයි.

වසර 13 කට පසු ඉන්දියාවේ – තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හිමිකර ගත් ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ.ස්ටාලින් තමිල්නාඩු මහඇමතිවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

ඔහු සමග 33 දෙනෙකුගෙන් යුත් ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය චෙන්නායිහි රාජ්භවන් මැදුරේදී ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝහිත් ඉදිරියේ දිවුරුම් දුන් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

එම්.කේ.ස්ටාලින් තමිල්නාඩුවේ මීට පෙර පාලන බලය හෙබවූ මුත්තුවේල් කරුණානිධිගේ පුත්‍රයෙක්.

ස්ටාලින් මෙලෙස ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූයේ තමිල්නාඩුව කොරෝනා වසංගතයට එරෙහිව දැඩි සටනක නිරතව සිටියදීයි.

තමිල්නාඩුවෙන් ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 23,000 ක් වාර්තා වූ අතර, ප්‍රාන්තයේ සක්‍රිය ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 30,000 කට අධිකයි.

පසුගිය අප්‍රේල් 6 වනදා තමිල්නාඩුවේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතිද්දීයි.

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ එරට කොරෝනා රැල්ල උත්සන්න කිරීමට හේතුවී ඇති බව සඳහන්.

මේ අතර, ස්පුට්නික් කොරෝනා එන්නතේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රුසියාව, චීන සමාගම්වල සහාය පතන බව වාර්තා වුණා.

ස්පුට්නික් එන්නත සඳහා ඉල්ලුම පසුගිය කාලය තුල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එම එන්නත් මාත්‍රා මිලියන 260 ක් සැපයීමට රුසියාව ගිවිසුම්වලට එළඹී තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ප්‍රධාන වශයෙන් තම රටවල එන්නත් සැපයුම පිළිබඳ අවධානය යොමු කිරීම නිසා අප්‍රිකානු, මැදපෙරදිග සහ ලතින් ඇමෙරිකානු රටවල් රුසියානු ස්පුට්නික් එන්නත වැඩි වශයෙන් ලබා ගැනීමට පෙළඹුනා.

ස්පුට්නික් එන්නත පිළිබඳව ඇතැම් බටහිර රටවල් පළ කළ සැකය දුරුවී ඇත්තේ නවතම අධ්‍යයන දත්තවලට අනුව ස්පුට්නික් එන්නත සියයට 91 ක ශක්‍යතාවක් දක්වන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව මගින් ද පෙන්වා දීමෙන් අනතුරුවයි.

එය ආරක්ෂිත එන්නතක් බව ද, මහා පරිමාණ පර්යේෂණාත්මක අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *