මහල් නිවාසවල සියයට 50කට හිමිකම් ඔප්පු

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50කට මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතුව ඇති මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50%ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සඳහන් කළේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා ඒ සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14542 කු පදිංචිව සිටී. ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදෙන බවයි.

අනෙක් මහල් නිවාසවල මතුව ඇතු නෛතික හා අනෙකුත් ගැටළු නිරාකරණය කර ගැනීමට යම් කාලයක් ගතවල බවද සභාපතිවරයා සඳහන් කළා.

එම ගැටළු නිරාකරණය කර ගැනීමෙන් පසුව ලබන වසරේදී අනෙක් පිරිසට හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන ලෙස විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තමන්ට උපදෙස් දී ඇති බවද හෙතෙම පැවසුවා.

එමෙන්ම මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ කොවිඩ් හා වෙනත් අනපේක්ෂිත අර්බුධ නිසාවෙන් ඉකුත් වසරේදී ඇතැම් ඉලක්ක ජයගැනීමට හැකියාවක් නොලැබුණු බවයි. එබැවින් මෙම වසරේදී පෙරටත් වඩා කාර්යක්ෂමව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නා.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් ගැසට් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇති බවයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සොලමන් සුමනසූරිය මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *