නොකළ මිනීමැරුමකට අවුරුදු 40ක් හිරේ තිබ්බට රුපියල් කෝටි 380ක වන්දියක්

ඔබේ ජීවිතයේ හොඳම කාලයෙන් වසර 40කට ආසන්න කාලයක් කිසිදා නොකළ වරදක් වෙනුවෙන් සිරගතව සිටින්නට සිදු වුවහොත් එය කෙතරම් වේදනාකාරී අත්දැකීමක් වනු ඇත්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. එවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් පුද්ගලයකු පිළිබඳ සිත් සසල කරවන කතාවක් පසුගිය දිනවල ඇමෙරිකාවෙන් වාර්තා විය.

මේ වනවිට 70 වැනි වියෙහි පසුවන ඔහු ක්‍රේග් රිචඩ් කොලී නම් වෙයි. 1980 වසරේ ද්විත්ව මිනීමැරුමක් පිළිබඳ චෝදනා මත ඔහු සිරගත කරන විට කේ‍ර්ග් පසුවූයේ 33 වැනි වියෙහිය. ඔහු විසින් ඝාතනය කරන ලද බව පැවසුණේ ඔහුගේ හිටපු පෙම්වතියක වූ 24 හැවිරිදි රොන්ඩා විච්ට් සහ ඇයගේ සිව් හැවිරිදි පුතු වූ ඩොනල්ඩ් යන දෙදෙනායි. 1978 වසරේ මෙම ඝාතන සිදු කර තිබුණේ සිමි වැලී නමැති ප්‍රදේශයේ පිහිටි විච්ට්ගේ නිවසේදීය.

අවසානයේ ක්‍රේග් මෙම මිනීමැරුම්වලට වගකිවයුතු නොවන බව අනාවරණය වන විට ඔහු සිය ජීවිතයේ වසර 40කට ආසන්න කාලයක් බන්ධනාගාරයක ගත කර අවසන්ව තිබිණි. ඔහුගේ නිර්දෝෂීභාවය පිළිබඳව සනාථ වීමෙන් පසු එවකට කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් 2017 වසරේ කේ‍ර්ග්ට සමාවක් ප්‍රදානය කරන ලදී.

කෙසේ හෝ වේවා, ක්‍රේග් කොලී පිළිබඳව පසුගිය සතියේ නැවතත් මාධ්‍ය අවධානයක් යොමුවන්නට පටන් ගත්තේ තවත් අපූරු කාරණයක් හේතුවෙනි. එනම් වසර 40කට කිට්ටු කාලයක් නිරපරාදේ සිරගත කර තැබුවාට වන්දියක් වශයෙන් ඔහුට යම් මුදලක් ගෙවීමට තීරණය වීම නිසාය. මෙය එතරම් සුළුපටු වන්දියක් නොවන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක මුදලක් බව එරට මාධ්‍ය අනාවරණය කර තිබිණි. ලංකාවේ මුදලින් ගණන් බැලුවහොත් එය රුපියල් කෝටි 380කට ආසන්න මුදලකි.

ඒ අතින් බැලූ විට දැන් ක්‍රේග් කොලී විශාල ධනවතකු ලෙස සැලකිය හැකිය. මෙම ඩොලර් මිලියන 21ට අමතරව, 2017 වසරේ ඔහු නිදහස් කළ අවස්ථාවේද තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක (ලංකා රුපියල් කෝටි 36ක) මුදලක් ඔහු වෙත ගෙවා තිබිණි. එය ගණනය කර තිබුණේ ඔහු සිරගෙදර ගත කළ සෑම දවසක් වෙනුවෙන්ම ඩොලර් 140ක් බැගිනි. ක්‍රේග් සිරගෙදර ගත කළ කාලය දවස්වලින් 13,991ක් ලෙස සඳහන් විය.

1978 වසරේ නොවැම්බර් 11 වැනි දින ක්‍රේග්ගේ හිටපු පෙම්වතිය රොන්ඩා විච්ට් ඝාතනය කර තිබුණේ පහර දීමෙන් සහ කඹයක ආධාරයෙන් ගෙල සිර කිරීමෙනි.

ඇයගේ පුතු වූ ඩොනල්ඩ්ද ඒ අසල ඇඳක් මත හුස්ම සිර කර මරා දමා තිබිණි. එයට ටික දිනකට පෙර විච්ට් කේ‍ර්ග් සමඟ තිබූ සම්බන්ධය අවසන් කර තිබූ අතර ඒ පිළිබඳව කේ‍ර්ග් ඇය සමඟ දැඩි අමනාපයෙන් පසුවූ බව පැමිණිලි පාර්ශ්වයේ අදහස විය. ඔහු විසින් මෙම ද්විත්ව ඝාතන සිදු කරන ලදැයි සැක කෙරුණේ මෙම පසුබිම තුළයි. මේ අනුව විච්ට්ගේ සහ දරුවාගේ මළ සිරුරු සොයාගත් දිනයේම ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් පැවැති පළමු නඩු විභාගයේදී ලැබුණේ බෙදුණු තීන්දුවකි. ජූරියේ 10 දෙනකු ඔහු වැරදිකරු ලෙස සැලකූ අතර දෙදෙනකු තීන්දු කළේ ඔහු නිවැරදිකරු කියාය. 1980 වසරේ පැවැති දෙවැනි නඩු විභාගයෙන් පසු ඔහු වැරදිකරු ලෙස තීන්දු කරන ලද අතර ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කෙරිණි.

නමුත් ක්‍රේග් දිගින් දිගටම පවසා සිටියේ මෙම මිනීමැරුම්වලට තමුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එක්තරා පොලිස් නිලධාරියකු ඉතා තීරණාත්මක සාක්‍ෂි වගයක් වසන් කර තමා මෙම මිනීමැරුමට පැටලවීමට ක්‍රියා කළ බවක්ද ක්‍රේග් බන්ධනාගාරයේ සිටි කාලයේ වරක් ප්‍රකාශ කර තිබිණි. ඝාතන සිදු වූ ස්ථානයේ තිබී හමුවූ ශුක්‍රාණු සහ කෙස් මේ ආකාරයෙන් සඟවා තිබූ බැව් පැවසේ. තමාගේ මෙම ප්‍රකාශය සනාථ කළ හැකි පොලිස් නිලධාරියකුගේ නමක්ද කේ‍ර්ග් සඳහන් කර තිබී ඇත.

කෙසේ හෝ වේවා, සිරගෙදර ගත කළ කාලය තුළ ඔහු ඉතා ආදර්ශවත් ආකාරයෙන් දිවි ගෙවා ඇති බවද සඳහන් වේ. ඔහු කිසිදු නොමනා ක්‍රියාවකට, ප්‍රචණ්ඩ ක්‍රියාවකට යොමු වී නොමැති බවද, ආගමික ජීවිතයකට නැඹුරුව සිටි බවද බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර ඇත.

ඉහත කී ද්විත්ව මිනීමැරුම පිළිබඳව දශක කිහිපයකට ඉහත සිදු කෙරුණු මුල් විමර්ශනවලදී ක්‍රේග්ට අවාසියට හිටි එක් සාධකයක් වූ බව පෙනෙන්නේ අද මෙන් DNA පරීක්ෂණ එකල දියුණු මට්ටමක නොතිබීමයි. කෙසේ වෙතත් 2016 වසරේ එක්තරා විශ්‍රාමික රහස් පරීක්‍ෂකයකු ක්‍රේග් සම්බන්ධ සිද්ධිය පිළිබඳව නැවත බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට පියවර ගැනීමත් සමඟ පොලිසිය යළිත් මෙම ඝාතන සම්බන්ධයෙන් සොයාබැලීමට ක්‍රියා කර තිබේ. ක්‍රේග් එක්කෝ වුවමනාවෙන්ම මෙයට පටලවා ඇති බව හෝ නැතහොත් ස‍ෙදාස් ආකාරයෙන් වැරදිකරු කර තිබෙන බව ඉහත කී රහස් පරීක්ෂකයාගේද විශ්වාසය වූ බැව් සඳහන් වෙයි.

මේ අනුව ඒ වනවිටත් එක්තරා රසායනාගාරයක තිබූ, සිද්ධියට අදාළ DNA සාම්පල වගයක් නැවත, නවීනතම තාක්‍ෂණය ආධාරයෙන් පරීක්ෂා කිරීමට විමර්ශකයන් පියවර ගෙන තිබිණි. එහිදී අනාවරණය වී තිබුණේ මෙම DNA සහ ක්‍රේග්ගේ DNA අතර ගැළපීමක් නොමැති බවයි. රොන්ඩා විච්ට්ගේ සහ ඇයගේ දරුවාගේ මරණවලට ක්‍රේග්ගේ සම්බන්ධයක් නොමැති බව සනාථ වී තිබුණේ මේ ආකාරයෙනි. කෙසේ වෙතත් ඝාතන සිදු වූ ස්ථානයේ තිබී හමු වූ DNA වල නියම හිමිකරුවා කවුද යන්න තවමත් සොයා ගැනීමට හැකි වී නැත.

– නිහාල් පීරිස් –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *