ලොව හොඳම ටෙස්ට් ඉනිමට ‘කුසල් සහ බෙන් ස්ටෝක්ස් අතර’ සටනක්

2019 වර්ෂයේ ලොව හොඳම ටෙස්ට් ඉනිම තේරීම වෙනුවෙන් ලොව ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවියක් විසින් පවත්වන තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්ව ඇති බව වාර්තා වනවා.

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේදී ඩර්බන්හි පැවැති දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත ගෙන එමින් නොදැවී ලකුණු 153ක් ලබා ගැනීම එම සම්මානය සඳහා කුසල් ජනිත් නිර්දේශ වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව තිබෙනවා.

තවද දකුණු අප්‍රිකාව සමඟ පැවැති එම ටෙස්ට් තරගයෙන් අනතුරුව ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන් කුසල්ගේ ඉනිම ලොව හොඳම ටෙස්ට් ඉනිම වශයෙන් හඳුන්වා තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම සම්මානය සඳහා වන කුසල්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා බවට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පත්ව තිබෙනවා.

එම වෙබ් අඩවියට අනුව කුසල් දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 153ත් බෙන් ස්ටෝක්ස් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 135ක ඉනිමත් මෙම සම්මානය සඳහා නිර්දේශිත අනෙකුත් ක්‍රීඩකයන් දියත් කළ ඉනිම්වලට වඩා ඉදිරියෙන්ම පසුවනවා.

කෙසේ වෙතත් මෙහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ බෙන් ස්ටෝක්ස්ගේ ඉනිම හෙඩිංලි ක්‍රීඩාංගණයේදී එංගලන්ත පිතිකරුවන්ට හුරුපුරුදු තම මවුබිමේ තත්ත්වයන් යටතේ දියත් කළද කුසල් නොදැවී රැස්කරගත් ලකුණු 153 ඩේල් ස්ටේන්, කගීසෝ රබාඩා සහ ඩ්වේන් ඔලිවර් වැනි ප්‍රබල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ වේග පන්දුවට හිතකර ඉතා අසීරු දකුණු අප්‍රිකානු තණතීරුවක් වන ඩර්බන්හිදී දියත් කිරීම නිසා මෙම තරගයේදී කුසල් වඩාත් ඉදිරියෙන් පසුවන බවයි.

ඒ අනුව කුසල් ජනිත් සහ බෙන් ස්ටෝක්ස් යන දෙදෙනාම එම තරගවලදී අංක 5 පිතිකරුවා ලෙසින් පිටියට පිවිස ඇති අතර කුසල් පිටියට පිවිසෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව 52/3ක් වශයෙනුත් ස්ටොක්ස් පැමිණෙන විට එංගලන්ත දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව 141/3ක් වශයෙනුත් සටහන්ව තිබුණා.

තවද එම අවස්ථාවලදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 252ක් අවශ්‍යව තිබී ඇති නමුත් එංගලන්තයට අවශ්‍යව තිබී ඇත්තේ ලකුණු 218ක් පමණි.

එමෙන්ම කුසල් ජනිත් අදාළ ඉනිමේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 50.3ක් ලබාගෙන ඇති අතර එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් සියයට 37.3ක් බෙන් ස්ටෝක්ස් එහිදී ලබා ගත් ප්‍රතිශතය වශයෙන් දැක්වෙනවා.

තවද මෙම ඉනිමවලදී දෙවැනි අලුත් පන්දුව ගත් අවස්ථාව සම්බන්ධයෙන්ද අදාළ වෙබ් අඩවිය කරුණු දක්වා තිබුණා.

ඒ අනුව එංගලන්ත ඉනිමේදී දෙවැනි නව පන්දුව ලබා ගන්නා අවස්ථාවේදී අංක 6 පිතිකරු ලෙස කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ පන්දුවට පහරදෙමින් සිට ඇති අතර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී දෙවැනි නව පන්දුව ලබාගන්නා අවස්ථාවේදී කුසල් සමඟ පිතිකරණයේ යෙදී ඇත්තේ අංක 11 පිතිකරුවා වශයෙන් පිටියට පැමිණි විශ්ව ප්‍රනාන්දුයි.

තවද අවසන් පිතිකරු ලෙස විශ්ව ප්‍රනාන්දු පිටියට පිවිසෙන අවස්ථාව වන විට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 78ක් ලබා ගත යුතුව තිබුණද එංගලන්තයේ ජැක් ලීච් පිටියට පිවිසෙන අවස්ථාවේදී ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලබා ගත යුතුව තිබී ඇත්තේ ලකුණු 73ක් පමණි.

මේ අතර එම වෙබ් අඩවියේ පසුගිය වසරේ හොඳම විස්සයි-20 පන්දු යැවීමට හිමිවන සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගත් ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංගත් නිර්දේශව ඇති බව අදාළ වෙබ් අඩවිය පසුගියදා සඳහන් කර තිබුණා.

ඒ අනුව පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී ලකුණු 21කට කඩුලු 3ක් දවා ගැනීම වනිඳු හසරංග අදාළ සම්මානය සඳහා නිර්දේශ වීමට හේතු වී ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විස්සයි-20 තරගයේදී පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් ද සමඟින් එම තරගයේදී ලකුණු 6කට කඩුලු 5ක් දවා ගැනීම ලසිත් මාලිංග 2019 වසරේ හොඳම විස්සයි-20 පන්දු යැවීමට හිමිවන සම්මානය වෙනුවෙන් නිර්දේශ වීමට හේතුවී තිබෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.