කතරගමින් අපේක්ෂා රෝහලට ලැබුණු තිළිණය

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් මහරගම අපේක්ෂා රෝහලේ ඉඳිකිරීමට නියමිත සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම ඊයේ  (21) උදෑසන 10.00 රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

දේවාලයේ අරමුදලින් රුපියල් මිලියන 150 ඒ සඳහා වැයකෙරේ.

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ  ඩිෂාන් වික්‍රමරත්න  ගුණසේකර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ඉඳිකිරීම් ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන අතර වාස්තු විද්‍යා සැළසුම්කරණය RAPA Chartered Architects ආයතනය විසින් නොමිලයේ සිදුකරයි.

දේවාලයේ අරමුදලට බැතිමතුන් විසින් ලබාදෙන මුදලින් මෙම ඉඳිකිරීම් මාස 08 කාලයකින් නිමකිරීමට සැලසුම්කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, අපේක්ෂා රෝහල යනු අපේක්ෂාවන් පොදිබැදගත් ජනතාවට අපේක්ෂාවන් ඉටුකර ගැනීමට පසුබිම සකස්කරනු ලබන සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බව පැවැසීය.

මෙම අවස්ථාවට අමරපුර ශ්‍රී කලනවංශ මහා නිකායේ මහානායක දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද,රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද,රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස,කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත කිරින්දේ අස්සජී යන ස්වාමීන්වහන්සේලා වැඩමකර සිටි අතර රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර,සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,ජනාධිපති උපදේශක සාගල රත්නායක,රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ශ්‍රීලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ,මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර,වාස්තු විද්‍යා සැළසුම් ශිල්පී තිළිණ රත්නායක විශ්‍රාමික ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *