පෞද්ගලික රෝහලෙන් හමු වූ අත් බෝම්බය ගැන අලුත් හෝඩුවාවක්

නාරාහේන්පිට පෞද්ගලික රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

නාරාහේන්පිට ලංකා රෝහල් පරිශ්‍ර යේ තිබී ඊයේ දහවල් මෙම අත්බෝම්බයක් සොයා ගෙන තිබුණි.

එම රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයකු වන හිටපු ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයා විසින් මේ දැනුම් දෙනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.

රෝහලේ පළමු මහලේ වැසිකිළියක් තුළ හොඳින් පෙනෙන පරිදි තබා තිබී ඇති මෙම අත් බෝම්බය සම්බන්ධයෙන් ලද තොරතුරට අනුව එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා එය රෝහලේ පිටත පිහිටි ගරාජයකට ගෙනගොස් වෙන්ව තබා තිබූ බවද පොලිසිය පවසයි.

එම ස්ථානයට ගිය නාරාහේන්පිට පොලීසිය අදාළ අත්බෝම්බය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය කැඳවා තිබුණි .

ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය, මෙම අත්බෝම්බය සක්‍රීය මට්ටමේ ඇති එකක් නොවන බවට හඳුනාගෙන ඇත .

සිද්ධිය සැලවීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කර ඇත.

මෙම සම්බන්ධයෙන් රෝහලේ සේවය කරන පුද්ගලයකු, සිදුවීම ඇසින් දුටුවකු සහ තවත් අයකුගෙන් ප්‍රශ්න කළ බවද පොලීසිය පවසයි.

මෙම අත්බෝම්බය රෝහල් පරිශ්‍රයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය නාරාහේන්පිට පොලීසිය සමග එක්ව සීසීටීවී කැමරා දර්ශන ආශ්‍රයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *