කොවිඩ් එන්නතේ නිෂ්පාදන කටයුතු කෙරෙන ‘ සමාගම වෙත’ බෝම්බයක් බවට සැකකෙරෙන පාර්සලයක්

ඔක්ස්ෆර්ඩ් කොවිඩ් මර්දන එන්නතේ නිෂ්පාදන කටයුතු කෙරෙන ඇස්ට්‍රාසෙනෙකා සමාගම වෙත බෝම්බයක් බවට සැකකෙරෙන පාර්සලයක් ලැබීමත් සමග එහි ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ නිෂ්පාදන කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා සමාගම අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

යුරෝපා සංගමය අනතුරු අඟවන්නේ ගිවිසුම් ගත වූ පරිදි ඔක්ස්ෆර්ඩ් එන්නත නිෂ්පාදනයට ඇස්ට්‍රාසෙනිකා සමාගම අපොහොසත් වුවහොත් අපනයනය සඳහා නිෂ්පාදනය කරන එන්නත් කෙරෙහි දැඩි සීමා පනවන බවයි.

යුරෝපා සංගමය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත්තේ පොරොන්දු වූ පරිදි යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ට අවශ්‍ය  එන්නත් නිෂ්පාදනය කර බෙදා හැරීමට අපොහොසත්වීම හේතුවෙන්.

බ්‍රිතාන්‍යයේ  ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව තුළ නිපදවන වැඩි එන්නත් ප්‍රමාණයක් තම සාමාජික රටවලට හිමිවිය යුතු බවට යුරෝපා
සංගමය ඇස්ට්‍රාසෙනිකා සමාගම සමඟ ගිවිසුමකට එළැඹ සිටිනවා.

ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ ප්‍රමාදය හේතුවෙන් යුරෝපා සංගමයට මේ වනවිට සාමාජික රටවල්වලින් දැඩි චෝදනා එල්ල වී තිබෙනවා.

අමෙරිකාවේ ෆයිසර් බයොන්ටෙක් සමාගම ද මේ වනවිට එන්නත් නිෂ්පාදනයේ යම් ප්‍රමාදයකට මුහුණ දී සිටිනවා.

ඒ, නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය මිනිස් ශ්‍රමය සම්බන්ධ ගැටලු හේතුවෙන්.

ෆයිසර් එන්නතේ නිෂ්පාදන කඩිනම් කිරීමට ප්‍රංශයේ එන්නත් නිෂ්පාදන සමාගම්වල දායකත්වයද ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *