ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන්තොටුපලින් පිටත්වූ යානයක් අතුරුදහන්

ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන්තොටුපලින් පිටත්වූ ගුවන්යානයක් අතුරුදන්වී තිබෙනවා.

එම යානය පිටත්වී විනාඩි 4ක පමණ කාලයක් තුල සබඳතා බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෝයිං 737 වර්ගයේ මෙම යානය අතුරුදන්වන විට අඩි දස දහසක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබුණා.

මෙලෙස හදිසියේ ගුවන් දර්ශන පථයෙන් ඉවත්වන විට එහි මගීන් 56 දෙනෙකු සිට ඇති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.

ලදරුවන් 03 දෙනෙකු, ළමයින් 07 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයන් 46 දෙනෙකු සිට තිබෙනවා.

මෙම යානය අතුරුදන් වන විට එය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට බොනෙයෝ දූපත් වෙත පියාසර කරමින් තිබී ඇතැයි සඳහන්.

එරට ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ සෝදිසි කිරීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

එම යානය රේඩාර් පද්ධතියෙන් ඉවත්වී ඇත්තේ ජකර්තා නුවරට උතුරු ප්‍රදේශයේ ගුවනේදීයි.

වසර 27ක් පැරණි මෙම ගුවන් යානය ශ්‍රීවිජය එයාර් ගුවන් සමාගමට අයත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට අදාළව කරුණු එක්රැස් කරමින් පවතින බැවින් යානය අතුරුදන්වීම පිළිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව ඔවුන් ප්‍රකාශකර ඇතැයි සඳහන්.

මෙය 2021 වසරේදී ගුවන්යානයක් සම්බන්ධයෙන් වාර්තාවූ පළමු සිදුවීම වීම ද විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 2020 වසරේදී ගුවන්යානා අනතුරු 40ක් සිදුවී ඇති බවයි.

එය 2019 වසරට සාපේක්ෂව අඩුවීමක් වුව ද එම අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව වැඩිවීමක් සිදුවී තිබෙනවා.

2019 වසරට සාපේක්ෂව පසුගිය 2020 වසරේදී ගුවන් යානා අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 42 කින් ඉහළ ගොස් තිබුණා.

2020 වසරේදී ගුවන් යානා අනතුරුවලින් 299 දෙනෙකු මියගොස් ඇති අතර, 2019 වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 257ක්.

2019 වසරේදී ගුවන් යානා අනතුරු 86 ක් සිදුව ඇති අතර, 2020 වසරේදී අනතුරු 40ක් සිදුව තිබෙනවා.

මෙම අනතුරු වාර්තාවී තිබුණේ 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ ගුවන් ගමන් සියයට 42 කින් අඩුවී ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *