පොලිස් මුලස්ථානය පඹ ගාලක පැටලේ – අල්ලපු කුඩු මුදලාලිටම විකුණන පොලිස් තියරිය හසුවේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගැනීමට තිබූ හෙරොයින් සිය භාරයට නොගෙන යළි ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට පොලිස් නිලධාරියෙකුට චෝදනාවක් එල්ලවී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙක්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගැනීමට තිබූ හොරොයින් සිය භාරයෙට නොගෙන උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් යළි ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට හෙළිව ඇත්තේ මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවෙකුවන ටයිල් චමින්ද නමැත්තා සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී.

මිනුවන්ගොඩ පොලිස් සිර මැඳිරියේ රඳවා සිටි ජාවාරම්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මත්කුඩු තොගයක් සඟවා ඇති ස්ථානයක් පිළිබඳවද තොරතුරු හෙළිකර තිබෙනවා.

ඒ අනුව, එම ස්ථානය වැටලීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇති අතර, එම ස්ථානයේ අදාළ මත්කුඩු තොගය තිබී නැහැ.

ප්‍රදේශවාසීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර වෑන් රථයකින් කිහිපදෙනෙකු පැමිණ අදාළ ස්ථානය පරීක්ෂා කර ඇති බවයි.

ටයිල් චමින්ද නමැති ජාවාරම්කරු මිනුවන්ගොඩ පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටියදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු එහි පැමිණ සැකකරු හමුවී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් වැටලීමට පැමිණිමට පෙර මත්කුඩු තොගය සඟවා තිබූ ස්ථානයට පැමිණ ඇත්තේ අදාල උපපොලිස් පරීක්ෂකවරයා විසින් කුලී පදනම මත ලබා ගත් වෑන් රථයක් බවයි.

ඊට අමතරව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එම ප්‍රදේශයේ සැරිසරා ඇති බවට දුරකථන කුළුණු සංඥා දත්ත මගින් තහවුරු වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඩුබායිහි සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුද මෙම සිද්ධියට සම්බන්ධ බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *