ගෙදර හතර දෙනාටම කොවිඩ් හැදුණු පොලිස් නිලධාරියා කබලෙන් ලිපට වැටේ – පොලිසියට කොවිඩ් බෝ කළා කියලා වැඩත් තහනම් කරලා

කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේ පොලිස් නිලධාරින්ට කොවිඩ්-19 වයිරසය බෝවීමට ක්‍රියා කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරි එච්.ඒ. කමල් පෙරේරා මහතා පියවර ගෙන තිබෙනවා.

වැඩ තහනමට ලක්කර ඇත්තේ කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රවර්තන අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේයි.

රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයාට ඔහුගේ වැඩ තහනම් ලිපිය කෑගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මාවනැල්ල පොලිසිය මගින් ලැබීමට සලස්වා තිබෙනවා.

පොලිස්පතිවරයා 2020.10.31 දින ආර්.ටී.එම්. අංක 1130 අනුව ක්‍රියා නොකිරීම, අනෙක් නිලධාරින්ට කොවිඩ්- 19 වයිරසය බෝවීම වළක්වා ගැනීමට තිබියදී එසේ නොකර වරදක් කර ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2020.11.20 දින නිකුත් කරන ලද අංක 2202/24 දරන ගැසට් පත්‍රයෙන් තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව 12 වැනි දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කළ බව සඳහන් කරමින් සහකාර පොලිස් අධිකාරි කමල් පෙරේරා මහතා විසින් පොලිස් සැරයන්වරයාට වැඩ තහනම් කල ලිපිය යවා තිබුණා.

වැඩ තහනම් කළ පොලිස් සැරයන්වරයාගේ පුතු පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී සිටින අතර එම ආයතනය මගින් ඔහුට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබුණා.. පොලිස් සැරයන්වරයා දෙසැම්බර් 30 සිට ජනවාරි 02 දක්වා ප්‍රවර්තන අංශයේ රාජකාරි සඳහා වාර්තා කර ඇති අතර සිය පුතු පී.සී.ආර් පරීක්ෂණයකට පෙනී සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම්දීමට කටයුතු නොකළ බවට සැරයන්වරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

පොලිස් සැරයන්වරයා ඉකුත් 02දා කළ පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර දැනට ඔහු, පුතු සහ ඔහුගේ මාමා රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ බිරිඳ උදුගොඩ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.

කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු කෑගල්ල පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින්, සිවිල් නිලධාරින්ද ඇතුළුව 15 කුට පමණ කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී තිබුණා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *