කන්දකාඩු නිසා රටටම අවදානමක්..පොදු ප‍්‍රවාහන භාවිතා කරලා.. නෑදෑයනුත් සොයා මෙහෙයුමක් – සෞඛ්‍ය අංශවලින් දැඩි අනතුරු ඇඟවීමක්

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින් මුණගැසීමට පැමිණි ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද සොයා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ පුනරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයින්ගේ දෙමව්පියන් සහ ඥාතීන් රැසක් සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙත පැමිණ ගොස් ඇති බවයි. එහිදී ඔවුන්ව නිසි නිරෝධායන ක‍්‍රියාවලියකට යොමු කර තිබුනද එමගින් ඇතැම් විට අවධානමක් මතුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවී තිබෙන නව කොරෝනා රෝගී පොකුර හේතුවෙන් සමාජයට වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප‍්‍රකාශ කරන්නේ.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි පවුලේ ඥාතීන් කවුරුන්ද යන්න පිළිබද මේ වනවිට හදුනා ගෙන ඇති බවයි.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු ඊයේ (09) වාර්තා වුණා. ඒ, ඉකුත්දා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමෙන් පසුවයි. ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයට පුනරුත්ථාපනය සඳහා යොමු කර සිටියා. ඒ අනුව එහි සිටින පුද්ගලයින් සහ සේවකයින්ගෙන් සිදුකළ PCR පරීක්ෂණ මගින් මෙම ආසාදිතයින් 57 දෙනා වාර්තා වුණා. එය ඉදිරියේදී තවත් වැඩිවෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඇය පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කර ඇති බවයි. එම උපදේශිකාව නිවසට පැමිණීමෙන් පසුව ඇයට තිබු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ද ගොස් ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අසල්වැසි නිවසකට හා ඇඳුම් මසන ස්ථානයකට ගොස් ඇති බව ද කරුණු අනාවරණය වී තිබෙනවා.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ ඇය අසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳවද හදුනා ගෙන ඇති බවයි.

මිට අමතරව එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ඇතැම් අය නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ගත වූ පැය 24 තුළ අලූතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 60 දෙනෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,154 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් ප‍්‍රතිකාර ලබන්නේ 164 දෙනෙකු පමණයි. 1,979 දෙනෙකුම පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *