විශාලතම චිප් නිෂ්පාදක සමාගම් ආකර්ෂණය කර ගැනීමට ඉන්දියාවෙන් විශේෂ වැඩපිළිවෙළක්

ලොව විශාලතම චිප් නිෂ්පාදකයින් සිය රටවලින් ඔබ්බට නිෂ්පාදන පුළුල් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස නව කර්මාන්තශාලා සඳහා ඉන්දියාවේ ස්ථාන ඇගයීමට ලක් කරමින් සිටින බව ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි විෂ්නව් පවසයි.

තායිවානයේ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම (Taiwan Semiconductor Manufacturing Co) සහ දකුණු කොරියාවේ සැම්සන්ග් ඉලෙක්ට්‍රොනික සමාගම (Samsung Electronics Co) ඇතුළු සමාගම් ඔවුන්ගේ නිමැවුම් ධාරිතාව පුළුල් කරමින් සෑම වසරකම ඩොලර් බිලියන දස දහස් ගණනක් ආයෝජනය කරයි.

ඒ අනුව ඉන්දියාව එම සමාගම් රට තුළට ආකර්ෂණය කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය විෂ්නව් පවසයි.

ඉන්දියාවේ මෙම අර්ධ සන්නායක නිෂ්පාදන සැලසුම් පැමිණෙන්නේ ලොව ප්‍රමුඛ ආර්ථිකයන් හිමි රටවල් තම දේශීය අර්ධ සන්නායක නිෂ්පාදනය සුරක්ෂිත කිරීම සඳහා වැඩි වැඩියෙන් සම්පත් යොදමින් සිටින අවස්ථාවක ය.

චීනය අර්ධ සන්නායක ස්වෛරීභාවය සඳහා දැක්මක් ඉදිරිපත් කර ඇති අතර බයිඩන් පරිපාලනය විසින් චිප් සංවර්ධනයේ එක්සත් ජනපද නායකත්වය නැවත ලබා ගැනීමට ඩොලර් බිලියන 52 සැලැස්මක් සකස් කර තිබේ.

ජපානය ද තායිවානයේ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් ආකර්ෂණය කර ගැනීමට බිලියන ගණන් මුදල් වෙන් කරයි.

බීජිං සහ වොෂින්ටනය අතර වෙළඳ ආතතීන් සහ කොවිඩ් ආශ්‍රිත අගුලු දැමීම් ගෝලීය සැපයුම්දාම කඩාකප්පල් කිරීමට හේතු වී ඇති බැවින් චීනය සහ තායිවානය වැනි සාම්ප්‍රදායික තාක්ෂණික නිෂ්පාදන මධ්‍යස්ථානවලින් පිටතට තම නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම කෙරෙහි සමාගම් තල්ලු කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

You May also like

Leave a Reply

Your email address will not be published.