ශ්‍රී ලංකාවට එරෙහිව කිසිවෙකුට බිඳ හෙළිය නොහැකි ලෝක වාර්තාවක්

ධනංජය ද සිල්වාගේ හය වැනි ටෙස්ට් ශතකය ප්‍රධාන කොට රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලබා දුන් ලකුණු 308 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු පිතිකරුවෝ පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය (15 දා) වූ අද දිනයේ නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට කඩුලු 2 කට ලකුණු 252 ක් ලබා සිටියා.

තරගයේ අවසන් පැය එළැඹෙත්ම දෙපිළේම නායකයින්ගේ කැමැත්ත අනුව තරගය නිමා කිරීමට විනිසුරුවෝ තීරණය කළා.

පාකිස්තානු ඉනිමේ ක්‍රියාත්මක කෙරුණු පන්දුවාර 70 ඇතුළතදී ශතක සම්බන්ධතාවයක් පැවැත්වූ අබීඩ් අලී පන්දු 201 කදී ලකුණු 109 ක්ද සහ බාබර් අසාම් පන්දු 128 කදී ලකුණු 102 ක්ද රැස් කරගෙන සිටියා.

මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ අබීඩ් අලී කිසිවෙකුට බිඳ හෙළිය නොහැකි ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වීම අද දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම වුණා.

මීට පෙර ලොව කිසිම පිතිකරුවකු ටෙස්ට් සහ එක්දින තරග අංශය යටතේ ක්‍රීඩා කරන ලද මංගල ඉනිමේදී ශතක වාර්තා කිරීමට අපොහොසත් වූ නමුත් එම විරළ වාර්තාවේ පළමු අයිතිකරුවා බවට පත්වීමට අබීඩ් අලීට අද අවස්ථාව උදා වුණා.

පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 4 කට ක්‍රීඩා කර ඇති අබීඩ් අලී මෙම වසර මුලදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා ලද තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සමත්කම් දක්වනු ලැබුවා.

ඩුබායිහි පැවැති එම තරගයේදී පන්දු 119 කට මුහුණ දුන් අබීඩ් ලකුණු 112 ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 19 වැනිදා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *