චීනයේ කොරෝනා වගේ ඊළඟ ලෝක බිල්ල ඇමරිකාවේ ‘කවසාකි’ උණද?

ජේන් නිව්බර්ගර් ඇතුළු වෛද්‍ය කණ්ඩායම බෙහෙවින් කලබලයට පත්වූයේ කොවිඩ්-19 රෝගී තත්ත්වය යටතේ රෝහලට වැඩි වශයෙන් කුඩා දරුවන් රැගෙන එන්නට පටන් ගත් බැවිනි. එහෙත් මඳක් කල්පනාකාරීව පරීක්ෂා කළ ඔවුන්ට වැටහී ගියේ ඒ වූ කලී කොරෝනා වයිරසය රෝග ලක්ෂණ ඉක්මවා ගිය වෙනස් තත්ත්වයක් බවය. සමහර දරුවකු දැඩි උදර වේදනාවක් ගැන මැසිවිලි නඟමින් කෑ ගසන්නට වූ අතර තවකෙකුගේ ධමනිවල බිබිලි හටගෙන තිබිණි. තවත් දරුවකුගේ ධමනි ඉදිමී තිබුණු බව දැක ගන්නට හැකි විය.

ඉනික්බිති රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල (Centers for Disease Control and Prevention) හා ජාතික සෞඛ්‍ය ආයතනය (NIH) වෛද්‍යවරු Zoom හරහා එක් වෙමින් මේ පිළිබඳ කතිකාවක් ආරම්භ කළේය. මේ අතරවාරයේ ලොව වෙනත් රටවලින්ද එබඳු තත්ත්ව මතු වූ අතර ඒ ප්‍රමාණවලින් හරි අඩක් පමණම වාර්තා වූයේ ඇමෙරිකාවෙනි.

“එකම රෝග ලක්ෂණ එකම කාල පරාසයක් තුළ එකම වතාවක ලෝකයේ කිහිප තැනකින් අහන්නට ලැබුණේ මට නම් මගේ ජීවිතයේ පළමු වැනි වතාවටයි!” බොස්ටන් ළමා රෝහලේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය වූ ජේන් නිව්බර්ග් මේ තත්ත්වය ගැන පුදුමයට පත් වෙමින් පවසා තිබිණි.

එය කවසාකි නමින් හැඳින්වෙන රෝග තත්ත්වයකට (Kawasaki Disease) සමාන ලක්ෂණ පෙන්නුම් කරන බවට අදහසක් මතු වූයේ මේ අතරවාරයේය. මෙය හිස එසවූ ආකාරය හා සමානකම් ගැනද වෛද්‍යවරුන්ගේ අවධානය යොමු විය. එකක්, එය හිස එස වූයේ වැඩිහිටි ප්‍රජාවට මාරාන්තික ලෙස බලපෑ නව කොරෝනා වයිරසය එහි උපරිම තලයට පැමිණීමෙන් සති තුන හතරකට පසුවය. අනෙක ඉන් ප්‍රබල ලෙස පීඩාවට පත් යුරෝපාකරයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමය.

“බාගවිට මට මෙය දැනෙන්නේ හිම කන්දක කෙළවරක් වාගෙයි. තව බොහෝ දේ මෙහි සැඟවී තියෙන්නට පුළුවනි. ඒත් දැනට කියන්නට තියෙන්නේ ඔවුන් අදාළ ප්‍රතිකාරවලට යහපත් ප්‍රතිචාර දක්වන බවයි.”

මේ කවසාකි බදු රෝග තත්ත්වය නිසාම බොහෝදෙනාගේ අවධානය කවසාකි රෝගය ගැන යොමුවී තිබේ. ජපාන වෛද්‍යවරයකු විසින් එය සොයා ගනු ලැබුවේ 1967 වසරේදීය. එහි රෝග ලක්ෂණ වන්නේ එක දිගට පවතින උණ තත්ත්වයකි. ඇස් රත් පැහැයකට හැරීම, සමෙහි ඇති වන දද, අත් පා ඉදිමුම, ලේ නහරවල ඇතිවන ප්‍රදාහ තත්ත්ව අනෙකුත් රෝග ලක්ෂණය.

එහෙත් දැන් ඇමෙරිකාව පත්ව ඇත්තේ උභතෝකෝටිකයකටය. කොරෝනාව දරුවන්ට නොවැලඳෙතත් මේ අලුත්ම රෝග තත්ත්වයට ගොදුරු වන්නේ දරුවන්ය. ඇතැම් විට මේ රෝග ලක්ෂණ එකිනෙක පැටලී තිබෙනුද දැකිය හැකිය. ඇමෙරිකානු වෛද්‍යවරුන් පවසන අන්දමට එහි භයානක තත්ත්වය වන්නේ යම් හෙයකින් ඒ කවසාකි රෝගය නම් නිසි හඳුනා ගැනීම් නොකොට ප්‍රතිකාර නොකළේ නම් හෘදයට රුධිරය සපයන ධමනිවලට හානි සිදුවන්නට ඉඩ තිබීමයි.

මීට අමතරව කොවිඩ් 19 වැලඳුණේ යැයි කිව හැකි රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ගේ රුධිර පීඩනය අඩුවීම සහ බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්ව දැක ගන්නට පුළුවන් බව වෛද්‍යවරු පවසති. අධික උදර වේදනාව, වමනය හා බඩඑළිය යෑම එහි ප්‍රතිඵලය. අනෙක් අතට ඒවා කවසාකි රෝගයේද අඩුවැඩි වශයෙන් දැක ගත හැකි ලක්ෂණය. සමහරක් වෛද්‍යවරුන්ගේ සැකය වන්නේ එය මේ රෝග තත්ත්ව සියල්ලේ ලක්ෂණ කලවම් වූ අලුත් වයිරස ආසාදනයක් නිසා ඇති වූවක් වන්නටද ඉඩ ඇති බවකි. එපමණක්ද නොව තවත් අතකට මේ කතාව හැර වෙන නිරීක්ෂණයක් පිළිබඳවද ඔවුන් එළිදරව් කර තිබේ. ඒ මෙකී රෝග ලක්ෂණ පෙන්නුම් කළ දරුවන්ගෙන් වැඩි මනත් පිරිසක් අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයෙන් පැවත එන්නන් බවයි.

එක්සත් රාජධානියේද මෙකී රෝග තත්ත්ව, පෙන්නුම් කරන දරුවන් 75ත් 100ත් අතර ප්‍රමාණයක් සිටින බවත් සඳහන්ය. කොවිඩ් _ 19 යැයි සෘජු ලෙසම ඔප්පු කළ නොහැකි එක්තරා රෝග තත්ත්වයකින් 14 හැවිරිදි පිරිමි දරුවකු මියගිය බව ලන්ඩනයෙන් අසන්නට ලැබිණි. අනෙක් අතට එය එක්සත් රාජධානියෙන් නොනැවත මුළු යුරෝපය පුරාම පාහේ දක්නට ලැබෙයි. එහෙත් යුරෝපයේ වෛද්‍යවරුද පවසන්නේ කොවිඩ් _ 19 යැයි හඳුනා ගැනුණු දරුවන් තුළ කවසාකි රෝගයට අදාළ ලක්ෂණ දැක ගත හැකි බවය.

බොහෝ දෙනාගේ පැනය වන්නේ එය ආසියාවටත් පැතිර ඒවිද යන්නය. ඒ පිළිබඳව තවම කිසිවක් නිශ්චිතව කිව නොහැකි අතර එය කොවිඩ් _ 19 හා සම්බන්ධ රෝග තත්ත්වයක්ම නම් පැතිරීමේ අවදානමක් තිබෙන්නට පුළුවන. එහෙත් තවමත් එබඳු ඔප්පු කිරීමක්ද සිදු කර නැත.

මේ අලුත් රෝගය ගැන කොවිඩ් තරම්ම බිය නොවන්නට හේතුවක් තිබෙන බව Nothwell Health හි වෛද්‍ය චාල්ස් ෂිලීන් පවසයි.

පළමු වැනි සැකය තමයි සාමාන්‍යයෙන් කවසාකි රෝගයෙන් මේ සා විශාල රෝගී පිරිසක් එකවර දැක ගන්නට ලැබෙන්නේ නැහැ. එය තමයි මෙතන පුදුමය. ඒත් කවසාකි උණේදී වාගේම ඊට ගොදුරු වන සෑම දරුවකුම සුව කර ගත හැකියි.

ඔවුන් ප්‍රතිකාරවලට හොඳ ප්‍රතිචාර දක්වනවා. ඒක සැනසිල්ලට කාරණයක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *