දියණිය කලා ඔයට දැමූ මවගෙන් විශේෂ ප්‍රකාශයක්

පුත්තලම සාලියවැව නීලබැම්ම ඔලුමඩු ප්‍රදේශයේ දී  සිව් හැවිරිදි දැරියක අතුරුදහන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දැරියගේ මව පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා ය.

මෙසේ විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නේ නීලබැම්ම පදිංචිව සිටි තෙනුරි තිසාර සිව් හැවිරිදි දැරියගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලීසිය හමුවේ පාපෝච්ඡාරණය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 21 හැවිරිදි හිටිහාමිගේ නයනා කුමාරි නමැති කාන්තාවකි.

ඇගේ සිව්හැවිරිදි දියණිය පසුගිය 30 දින පෙරවරුවේ අතුරුදහන්ව ඇති අතර දින ගණනක් මුළුල්ලේ ආරක්ෂක අංශ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ සෝදිසි මෙහෙයුම් රැසක් සිදු කළ ද දැරිය සම්බන්ධ කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය.

මේ අතර පොලිසීය හමුවේ ප්‍රකාශයක් කළ ඇය කියා තිබුණේ තමන්ගේ පහර කෑමෙන් සිහිසන් වූ දැරිය මිය යන්නට ඇතැයි සිතා කලාඔයට දැමූ බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇය ඊයේ දින පෙරවරුවේ පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලදුව ඇයට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම ප්‍රකාශය මහේස්ත්‍රාත්වරයා හමුවේ පමණක් ලබා දීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලා තිබුණි.

ඒ අනුව නඩු කටයුතු අවසන් වූ විගස ප.ව. 3.05  මසේත්‍රාත් නිල කාමරයේ දී මෙම විශේෂ ප්‍රකාශය දීම සිදු විය. එය ප.ව. 4.20 අවසන් වූ අතර ඇය යළි රක්ෂිත බන්ධනාගාරගත කළ පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ මෙම නඩුව පෙබරවාරි 12 දින යළි කැදවන ලෙසය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *