ඕමාන තානාපති ජනපති හමුවී කිව්ව දේ

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා ජනාධිපතිතුමා සමඟ පවසයි.

සේවය අවසන් කර දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ඕමාන තානාපතිවරයා අද (01) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරත ව සිටිති. පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට ද සහාය වන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සයීඩ් අල් රෂ්ඩ් මහතාගේ වසර 08ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳ සාකච්ඡා කරනු ලැබී ය.

තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිත අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට එහි සිට ද කටයුතු කරන බව රෂ්ඩ් මහතා ජනාධිපතිතුමා සමඟ සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා ද මේ අවස්ථාවට එක් ව සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published.