“ගෝඨා-රනිල් ප්‍රතික්ෂේප වූ හිස් කඳන් දෙකක්” – අනුර

අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් තිබුණු මහජන විරෝධය නොසලකා ගත් තීන්දුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 13) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා යනු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිස් කඳන් දෙකක් පමණක් බව ඔහු එහිදී පැවසීය.

දිසානායක මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිල දී ගැනීම මේ වන විට ආරම්භ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ය.

ඔහු එහිදී සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන බව ය.

“ඒ නිසා ඇත්ත ගත්තොත් මේකේ, උඩින් රනිල් යටින් බැසිල්, යනුවෙන් ඔහු පැවසීය.

“මහ ජනයාගේ ආණ්ඩුවට එරෙහිව නැගිටෙමින් තිබුණු විරෝධය කිසිසේත් ම සැලකිල්ලට භාජනය නොකරන ලද තීන්දුවක් තමයි ගෝඨාභය රාජපක්ෂ ත් රනිල් වික්‍රමසිංහ ත් ඊයේ ගනු ලැබූ තීන්දුව. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුව ත් ජන සම්මතවාදය පැත්තෙන් බැලුව ත් මේකට එවැනි වලංගුතාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ පහුගිය මහ මැතිවරණයේදී තමන්ට ත් තරග වැදිලා අසුනක්වත් දිනා ගන්න බැරි වුණ කෙනෙක්. 2015-19 විනාශකාරී ප්‍රතිපත්තියට එරෙහිව ජනතාව ඔහු ගෙදර හැරියා.

තමන්ට ඡන්දේ දෙන ලද සියලු බලවේග වෘත්තීයවේදීන්, තරුණයින්, තමන්ගේ දේශපාලන පක්ෂ නායක කණ්ඩායම් සියල්ල ම ප්‍රතික්ෂේප කරන තැනට පත් වුණු ගෝඨාභය රාජපක්ෂ එකතු වෙලා මේ රට පාලනය කිරීම මොන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට ද එකඟ වෙන්නේ?

මේ දෙදෙනා ම අද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිස් කඳන් දෙකක් විතරයි.”

You May also like

Leave a Reply

Your email address will not be published.