පාකිස්ථාන රජයෙන් බන්දුලට ආරාධනයක්

පාකිස්ථාන රජයේ ආරාධනය පරිදි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාකිස්ථානු නිල සංචාරය අරඹයි..

පාකිස්ථානු වාණිජ අමාත්‍ය අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා මෙරට සිදු කළ සංචාරයේ දී, සිය රටෙහි නිල සංචාරයකට එක් වන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ආරාධනයක් සිදු කරන ලදී.

එම ආරාධනය පරිදි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාකිස්ථානයේ නිල සංචාරය සඳහා අද පෙරවරුවේ කරච්චි ගුවන්තොටුපොළට ළඟා විය.

දෙරට අතර වෙළෙඳ සහයෝගීතා තවදුරටත් ව්‍යාප්ත කරගැනීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම නිල සංචාරය සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු විදේශ අමාත්‍යාංශ නියෝජිතයින් පිරිසක් ද, වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයින් පිරිසක් හා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් සහභාගී විය.

ඒ අනුව, වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු මෙම පිරිස පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දී එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර පාකිස්ථානු වාණිජ අමාත්‍ය අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා සහ විදේශ අමාත්‍යවරයා ද හමුවීමට නියමිතය.

මෙම සාකච්ඡා වලදී මෙරට අපනයන ක්ෂේත්‍රය සඳහා වැඩි ඉඩකඩක් පාකිස්ථාන වෙළෙඳපොල තුළ ඇති කරගැනීමටත්, ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳව නව ප්‍රවණතා ඇති කරගැනීමටත් අරමුණු කෙරේ.

එමෙන්ම එරට වෙළෙඳ ප්‍රජාව සමඟ සිදු කිරීමට නියමිත සාකච්ඡා තුළින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ද සිය නිෂ්පාදන එරට ජනතාව තුළ ප්‍රචලිත කිරීමේ ඉඩකඩ සලසා දීමට ද කටයුතු යොදා ඇත.

එමෙන්ම අමාත්‍යවරයා මෙහිදී පාකිස්ථානයේ වාණිජ සංගම් කීපයක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *