ගායන ශිල්පිණී ඇන්ජලීන් ‘වත්කම හතකට බෙදා කළ දේ’ මරණයෙන් පසුව හෙළිවේ

ඇන්ජලින් ගුණතිලක ගායන ශිල්පිණිය ජීවතුන් අතර සිටි කාලයේ දී මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් අපූරු තොරතුරක් ඇගේ මුනුබුරකු විසින් හෙළි කර තිබෙනවා.

ඇගේ මුනුබුරකු වන ඉමාල් ජූඩ් සිය මිත්තනියගේ අඩිපාරේ යමින් මේ වන විට සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටින අතර කුඩා කල සිටම සිය මිත්තනියගේ ඇසුරේ හැදී වැඩුණු ඔහු, ඇය ගැන බොහෝ දෙනා නොදැන සිටි කරුණු කාරණා රැසක් අනාවරණය කර තිබෙනවා.

“තමන්ට ලැබුණු හැම මුදලක්ම ආච්චි අම්මා කොටස් හතකට බෙදුවා. ඒ සැමියාට කොටසක්, මුනුබුරු මිනිබිරියන්ට කොටසක්, පල්ලිය වෙනුවෙන් කොටසක්, දුප්පත් අයට දීමට කොටසක් ආදී වශයෙනුයි. ඒ විදිහට බෙදලා ඉවර වුණාම ඉතාම සුළු මුදලක් විතරයි ආච්චි අම්මා අතේ ඉතිරිවුණේ. හැමදාම ඇය පත්තර බලලා අසනීප වූ දරුවන් වෙනුවෙන් මුදල් යැව්වා. ඒ හැමදෙයක්ම ඇය බොහොම අප්‍රසිද්ධීයේ කරපු දේවල්.

ආච්චි අම්මා ගායනා කළ ගීත සංඛ්‍යාව පන්දහසකට වැඩියි. ඒ සියලු ගීත වෙනුවෙන් අපේ මුළු පවුලම පෙනී ඉන්නවා. ඒවා කාටවත් අනිසි විදිහට පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

පසුගිය අවුරුද්දේ උපන්දිනය දවසේ ආක්ෂා චමෝදි කියන කුඩා ගායිකාව අපේ ගෙදරට ඇවිල්ලා ආච්චි අම්මාගේ ගීත ගායනා කරනවා අහලා ආච්චි අම්මා හුඟක් සතුටු වුණා. හැබැයි ඊට පස්සේ බොහෝ අය ඒ සම්බන්ධව වැරදි අර්ථකථනයක් ලබාදීලා තිබුණා ආච්චි ආම්මා ආක්ෂාට ඇගේ ගීතවල සම්පූර්ණ අයිතිය ලබා දුන්නා කියලා. එක්තරා රූපවාහිනී නාලිකාවකුත් ඒ බව කියමින් වැරදි ප්‍රචාරයක් ගෙන යනවා. ඇත්තටම කිසිම ආකාරයකින් ආච්චි අම්මා ඇගේ ගීතවල අයිතිය ආක්ෂාට දීලා නැහැ. මොකද කිසිම ඥාතීත්වයකුත් නැති නිසා ඇයට එහෙම කරන්න කිසිම හේතුවක් නැහැ. ඒ ළමයා තමන්ගේ ගීත ගැයුවාට කිසිම විරුද්ධත්වයක් නෑ කියලා විතරයි ආච්චි අම්මා කිව්වේ.” යනුවෙන් ඔහු පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *