පොල්තෙල් ප්‍රතිඅපනයනය කිරීමට තවත් සති 2ක කාලයක්

විෂ රසායනික අඩංගු බවට තහවුරු වීම හේතුවෙන් ප්‍රති අපනයනය සඳහා උපදෙස් ලබාදුන් පොල්තෙල් අඩංගු කන්ටේනර් බහලුම් 95 ප්‍රතිඅපනයනය කිරීම සඳහා තවත් සති 2ක පමණ කාලයක් ගත වනු ඇති බව රේගුව පවසනවා.

අදාළ පොල්තෙල් ගෙන්වූ ආයතන හරහා යළිත් එම රටවල්වලට යොමු කිරීමට අවශ්‍ය දැනුම්දීම් සිදුකර ඇතත් ප්‍රතිඅපනයනයට අවශ්‍ය නැව් හරහා ඒවා යැවිය යුතුයි ඒ හේතුවෙන් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි රේගුව සදහන් කරන්නේ.

මේ අතර, වෙළඳපලට නිකුත් වී ඇති පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර මොනවාද යන්න සහ එම සමාගම් පිළිබඳ තොරතුරු අද දිනයේ ලබාදෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අදාළ සමාගම් සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් ඊයේ ප්‍රමිති ආයතනයට ගිය අවස්ථාවේදියි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න සමග පසුගියදා පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී ඇය කියා සිටියේ සමාගම් බිඳ වැටෙන බැවින් විෂ සහිත ආහාර පවතින සමාගම්වල නම් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඇයගේ මෙම ප්‍රකාශයට මේ වන විට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, ඒ පිළිබදව සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඊයේ දිනයේ සිංහලේ ජාතික සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ගොනු කළේ ඊට එරෙහිවයි.

පොල්තෙල් පිළිබද එවන් කතාබහක් පවතින පසුබිමක පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය යොදා පිරිසිදු කොට යළිත් වෙළදපොළට නිකුත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

කල්මුණේ ප්‍රදේශයේ අදාළ ජාවාරම ක්‍රියාත්මක වන බවටයි දැනට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

පසුගිය කාලසීමාවේදී කොරෝනා වසංගතයට කොත්තමල්ලි පානය සුදුසු බවට පළ වූ ඇතැම් වාර්තා ද සැලකිල්ලට ගනිමින් මෙම කොත්තමල්ලි වෙළදපොළට නිකුත් කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *