සහරාන්ගේ පාස්කු ප්‍රහාරය වගේ තවත් ලොකු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

යුද හමුදාවට සම්බන්ධ හතළිස් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ‘සහරාන්ගේ පාස්කු ප්‍රහාරය වැන්නකට සූදානම් වන බවත් තමාට ඒවා සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් මේ සියල්ල පිළිබඳ විස්තර තමා පෞද්ගලිකවම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ලබාදී මාසයක පමණ කාලයක් ගත වී ඇතත් කිසිදු ප්‍රතිඵලයක් නොවූ නිසා මෙම හෙළිදරව්ව මාධ්‍ය ඔස්සේ මහජනතාවගේ ආරක්ෂාව සඳහා සිදුකරන බවත් ‘මහජන සේවා සංවිධානයේ’ සභාපති රිෂාම් මරුෆ් මහතා පෙරේදා (16දා) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරුෆ් මහතා මේ බව යුද හමුදාවේ අයකු සමඟ පවසන හඬපට ඔහු පෙනී සිටින වීඩියෝපට අගමැතිවරයා සමඟ ලබාගත් ඡායාරූපද මේ සාකච්ඡාවේදී මාධ්‍යයට පෙන්විය.

මෙම ප්‍රහාරය සැලසුම් කරනු ලබන්නේ යුද හමුදාවේම අයකු බවත් ඔහු තමා සමඟ සබඳකම් පවත්වා තිබෙන බවත් ඔහු සමඟ තවත් හතළිස් පස්දෙනකු යුද හමුදාවේ සූදානම් කර තිබෙන බවත් සඳහන් කළේය. රිෂාම් මරුෆ් හමුදාවේ සිටින අයගේ නම්ද මෙහිදී සඳහන් කළේය.

යුද හමුදා නිලධාරියා මේ වනවිට බටලන්ද ප්‍රදේශයේ කඳවුරක සේවය කරන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ත්‍රස්තවාදයට අනුබල දෙන උදවු කරන සංවිධාන අටක නාම ලේඛනයක් සහ වාර්තා තමන් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් බවත් මෙහිදී සඳහන් කළේය. මෙය මාධ්‍ය සන්දර්ශනයක් නොව රට වෙනුවෙන් සිදුකරන යුතුකමක් බවද ඔහු සඳහන් කළේය.

ප්‍රහාරය සැලසුම් කරන යුද හමුදා නිලධාරියා විවාහ වී සිටින්නේ මුස්ලිම් කාන්තාවක සමඟ බවත් ඇය මඩකළපුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් යුද හමුදා නිලධාරියා නුවරඑළිය, ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් හේ සඳහන් කළේය.

මෙම කණ්ඩායමට විදේශ රටක සැඟවී සිටින මුස්ලිම් ජාතිකයකුද විදෙස් මුදල් ආධාර ලබාදෙන බවට පොරොන්දු වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ඒ පුද්ගලයාගේ නමද මෙහිදී අනාවරණය කළේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් මරුෆ් මහතා මෙසේද කීය.

“මම මේක රටේ ආරක්ෂාවට තර්ජනයක් නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව පෞද්ගලිකව හමුවී දැනුවත් කළා. එතුමා කිව්වා මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට සහ ආරක්ෂක අංශවලට දැනුම් දෙන්නම් කියලා. හැබැයි තවමත් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මාසයක් ගතවෙලා තියෙනවා. මෙහෙම නිහඬව ඉන්නේ ඡන්දය නිසාද? නැත්නම් නැවත ප්‍රහාරයක් එල්ලවෙයි කියලා හිතෙන නිසාද? මොකද මඩකළපුව හමුදා කඳවුරක වැටුප් අංශයේ සේවය කරන නිලධාරියකුත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ සම්බන්ධයෙන් මම හමුදා බුද්ධි අංශ පවා දැනුවත් කළා. හැබැයි ඒ අයත් එය සත්‍යයක් බව පිළිගත්තා. ඉන් එහාට යමක් වුණේ නෑ.” හමුදා වැටුප් අංශයේ සේවය කරන මුස්ලිම් ජාතිකයාගේ නමද මෙහිදී අනාවරණය කෙරිණි.

“මට මේ කණ්ඩායම මරණ තර්ජනය කළා. මේක හෙළිදරව් කරලා තිබුණොත් මාව ඝාතනය කරනවා කියලා. එහෙත් මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා තමයි හෙළිදරව් කරන්නේ. දැනටමත් මගේ ජීවිතය අනතුරේ. පොලිස්පතිතුමාගේ නියෝගයක් කියලා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අපේ නිවෙස ඉදිරිපිටට යොදවන්න කියලා තිබුණා. හැබැයි ඊට වැඩිය හොඳයි මම තනියම ඉන්න එක.

වීඩියෝ ඇමතුම් අරගෙන මාත් එක්ක කතා කළා. මට මේවා පෙන්වන්න පුළුවන්. ඒවායේ තිබූ යුද හමුදා කඳවුර පවා ඔහු මට පෙන්නුවා (වීඩියෝ පටයක් පෙන්වමින්) එමෙන්ම එයාගෙ නිල ඇඳුම පවා මට පෙන්නුවා. ඒ අයගේ අරමුණ බවට පත් වෙලා තියෙන්නෙ ඉස්ලාම් ආගම ප්‍රචලිත කිරීම. රටේ බහුතරය ඉස්ලාම් දහම වැලඳගත් අය බවට පත් කිරීමයි. ඒ නිසා මේ පිළිබඳව සොයා බලන්න කියලයි අපි කියන්නේ.”

දඹුල්ල – කේ.කේ.ආරියදාස

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *