‘අත කොටා’ කුඩු බිස්නස් එකට ලී ගැජට් එකක් හදලා ගේ ඇතුළේදීම වැඩේ මාට්ටු

ලී කොටයක් යොදා ගනිමින් මංජුසාවකට සමාන උපකරණයක් නිර්මාණය කර තමන් පදිංචි නිවසේ උපක්‍රමශීලීව හෙරොයින් මිලිග්‍රෑම් 5555 සඟවා ගෙන සිටි මල්කඩුවාවේ, හෙරලියාවල පදිංචි සමන් හෙවත් ‘අත කොටා’ නමැති ජාවාරම්කරු 5 වැනිදා පෙරවරුවේ එම නිවසේදීම කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කුඩු ජාවාරම්කරුගෙන් කුඩු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි මත්කුඩු ලෝලීන් සිව්දෙනකු ද මේ මොහොතේ පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

පොලිසියට ලද තොරතුරක් මත 5 වැනිදා පෙරවරුවේ නිවස පරීක්ෂා කළ විෂ මත්ද්‍රව්‍ය මර්දනය ඒකකයේ පොලිස් නිලධාරීන් මෙම නිවසේ පසෙකට දමා තිබූ සැක සහිත ලී කොටයක් පරීක්ෂා කිරීමේදි ලී කොටයේ එක් පැත්තක ඉස්කුරුප්පු ඇන හතරක් තිබෙන බව දැක එම ඇන ගැලවීමේ දී එහි බහා තිබූ මෙම හෙරොයින් මිලිග්‍රෑම් 5555 සොයා ගත් බව විෂ මත්ද්‍රව්‍ය මර්දනය ඒකකයේ ස්ථානාධිපති පො.පා මහින්ද ප්‍රේමතිලක මහතා පැවසීය.

සමන් හෙවත් ‘අත කොටා’ අවුරුදු 52ක් වයසැති දෙදරු පියෙකි. මොහු මීට පෙරද කුඩු ජාවාරම් කර නඩු 14ක් පමණ තිබූ පුද්ගලයෙකි. වරින්වර මාස ගණනාවක් බන්ධනාගාර ගත වී සිටි මොහු බන්ධනාගාර කාලය අවසන් වී ආපසු නිවසට පැමිණීමෙන් පසු ද නැවතත් කුඩු ජාවාරමේ යෙදී සිටි අයකු බව පොලිසිය පැවසීය.

මොහුගේ බිරිඳ වන නිර්මලා කුමුදුලතා යන අය ද අධිකරණ නියෝග මත දැනට වාරියපොල බන්ධනාගාරයේ මාස 8ක සිර දඬුවමක් විඳින බව ද පොලිසිය පැවැසීය.

සැකකරුවන් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කරන බව පොලිසිය පැවසීය.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන්, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන් මහතාගේ මගපෙන්වීමෙන් විෂ මත්ද්‍රව්‍ය මර්දනය ඒකකයේ ස්ථානාධිපති පො. පා මහින්ද ප්‍රේමතිලක, කා.පො.සැ (2188) මැණිකේ, කා.පො.සැ (1695) ශ්‍රී කාන්ති, පො.කො (36757) කීර්ත, පො. කො (58147) චන්ද්‍රරත්න, පො.කො (33545) රසූල්, පො.කො (84201) ලහිරු සහ පො. කො (69696) රත්නායක යන පොලිස් නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *