මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒම වළක්වන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළ කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.
සුරියවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ඩබ්ලිව්. ශ්‍රියානි නමැති ඇය ඔහුගේ පුංචි අම්මායි.
මවගේ මරණයෙන් අනතුරුව මාකඳුරේ මධුෂ් ඇතුළු පවුලේ දරුවන්ව රැක බලාගෙන ඇත්තේ ඒ පුංචි අම්මායි.
මධුෂ්ගේ මවගේ මරණයෙන් පසුව තාත්තා වෙනත් විවාහයක් කර ගෙන ඔවුන්ගෙන් වෙන්ව ගොස් තිබුණා.
අගහිඟකම් මැද මධුෂ් තම පුංචි අම්මාගේ සෙවණේ හැදී වැඩුණු අතර ඔහුගේ එකම නැගණිය වූ ලක්ෂිණි ද එකම සහෝදරයා වූ නිරෝෂන් ලක්ෂිත ද හැදී වැදී ඇත්තේ එම නිවෙසේය.
“මාපිය සෙනෙහස දුන්නේ මේ අම්මා ” යනුවෙන් මධුෂ් නිතරම පවසන බවට ඔහුගේ පළමු විවාහයේ බිරිඳ පසුගිය දා පොලිසියට සඳහන් කර තිබූ අතර එලෙස හඳුන්වා ඇත්තේ මේ පුංචි අම්මායි.
ඔහුගේ පුංචි අම්මා ගොණු කළ පෙත්සමේ මෙසේද සඳහන් වනවා
‘පෙත්සම්කාරිය සමරසිංහ ආරච්චිගේ මධුෂ් හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ පුංචි අම්මාය. මධුෂ් නැමැත්තා 1979 වසරේ මෙලොව එලිය දුටු අතර ඔහුට වසර 10ක් ගතවෙද්දී 1989 වසරේදී යුද හමුදාව විසින් ඔහුගේ මව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවාය.
මෙම ඝාතනය පසුපස ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ඩැනී හිත්තැටියගේ පවුලේ අය සිටින බව මධුෂ්ගේ පවුලේ අය තදින්ම විශ්වාස කරයි. මධුෂ් රෝහල් උපස්ථායකයෙකු ලෙස සිය ජීවිකාව ඇරඹීය. පසුව හෙදියක සමඟ විවාහ විය. හෙතෙම එක් දරු පියෙක් ද වේ. ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ජීවිත තර්ජන හමුවේ හෙතෙම තම උපන් නගරයෙන් පලා ගියේය.
පසුව මධුෂ් විවිධ චෝදනා යටතේ රිමාන්ඞ් භාරයට පත්විය. රිමාන්ඩ් බාරයේ සිටියදී ද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල විය. මෙම තත්ත්වය හමුවේ ඔහු තම ජීවිත ආරක්ෂාව පතා සිය පුත‍්‍රයා සමඟ විදෙස්ගත විය. හෙතෙම ඉකුත්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට පත්විය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණය නීතියක් නොමැති බැවින් වගඋත්තරකරුවන් විසින් මධුෂ් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී වේ. මේ තත්ත්වය තුළ ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , මධුෂ් නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.’