මැච් එක බලන්න යන හැමෝම කහපාටින් සැරසෙමු

දැන් රටම කතාවෙන වර්ණය කහ පාටය.

එයට ප්‍රබල හේතුවක් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයයි.

විවිධ බාධක මධ්‍යයේ එම කණ්ඩායම ලංකාවට පැමිණීම ගැන ඔවුන්ට කෘතගුණ සැලකිය යුතු බව ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් පවසයි.

ඒ සඳහා ඔවුන් යෝජනා කරන්නේ දෙරට අතර හෙට (24) දිනයේදී කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසාන එක්දින තරගය නැරඹීමට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ස්තූතිය පළකිරීමට සියල්ලන් කහ වර්ණයෙන් සැරසී එන ලෙසටය.

මේ වනවිට එම යෝජනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරණයක් ලැබෙමින් පවතී.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට පැමිණියේ මෙරට දැඩි ආර්ථික, දේශපාලනික සහ සමාජයීය වශයෙන් අස්ථාවරව පවතින අවස්ථාවකදීය.

මෙරට තුළ විවිධ ගැටුම්, දේශපාලන අස්ථාවරභාවයන් පැවතීම හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය ගැන නැවත සලකාබැලිය යුතු බවට විවිධ මත පළවෙමින් තිබුණි.

කෙසේ වෙතත් එම සියලු මතයන් අදහස් පසෙකළා ඔවුන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමට තීරණය කරනු ලැබීය.

ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට නිවේදන නිකුත් කරමින් පැවති පසුබිමක ලොව ප්‍රමුඛතම ක්‍රිකට් කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාව ගනු ලැබූ මෙම තීරණය ඇතැමුන්ට කනේ පහරක් විය.

බරපතළ ඩොලර් අර්බුදයකට ශ්‍රී ලංකාව ලක්ව ඇති මොහොතක ඔවුන් මෙරටට රැගෙන ආවේ ඩොලර් ම පමණක් නොවේ.

ඔවුන් නැවතත් ලෝකයට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට සැමගේ උපකාරය අවශ්‍යම මොහොත මෙය බවය.

එසේම මෙම ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් ශ්‍රී ලාංකිකයින් පවා මෙරටට ඩොලර් එවීම වර්ජනය කරමින් පවතින මොහොතක එක්සත් ජාතීන්ගේ ආහාර අරමුදල සහ ලාභ නොලබන සමාජ අරමුදල් එක්ව සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙසට ජාත්‍යන්තරයෙන් ආයාචනය කිරීමට තරම් ඔවුන් නිහතමානී විය.

එසේම මෙම තරගාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී සිටීමද විශේෂත්වයකි.

ප්‍රබලතම ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලියේ ජයග්‍රහණය තමන් සතුකරගැනීමට තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මේ වනවිට අවසන් සහ පස්වන එක්දින තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී හමාරය.

එහෙත් කෘතගුණ හඳුනන ජාතියක් ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයින්ට කළහැකි යමක් ඉතිරිව ඇත.

ඉතින් සියලු වාද භේද පසෙකළා සමාජ මාධ්‍ය ඔස්සේ ඇරඹුණු මේ අනගි කෘතගුණ දැක්වීමේ මාහැඟි කර්තව්‍යයට අපිත් එක් සිත්ව, එක්සත්ව පෙළගැසෙමු.

ලෝකයේම අවධානය සිකුරාදාට මේ පුංචි රට වෙත හරවමු.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *