ආයෙත් මං ඉස්කෝලෙට – පාසල් 5,131ක් විවෘත වීමේ සූදානමින්

කොවිඩ් වසංගතය හමුවේ වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීමේ පළමු අදියර ලෙස දරුවන් 200 ට අඩු සියලු පාසල් හෙට දිනයේ විවෘත කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් 5,131 ක ප්‍රාථමික අංශ විවෘත කිරීම සම්බන්ධයෙන් අනුගමනය කල යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළු ක්‍රියා පටිපාටිය පිළිබඳ දන්වා යවා ඇත.

“සතුටු හෙටක් ගොඩනගන්න – ආයෙත් මං ඉස්කෝලෙට” යන්න තේමා කරගනිමින් පළමු සති කිහිපයේ දරුවන්ගේ මානසික තත්ත්වය වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ඊට ඇතුළත් වේ.

අදියර කිහිපයක් යටතේ අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත. හෙටින් ඇරඹෙන නව පාසල් වාරය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව ජාතියේම සතුට බැවින් එම සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් හෙට දිනයේ යළි පාසල් හැඩ කරනු ඇති බවයි.

කළකින් නොදුටු දරුවන් හමුවීමට ගුරුවරුන් හෙට දිනයේ පාසලට පැමිණෙනු ඇති බවද වැටුප් ගැටළුවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා මැදිහත්ව විශ්වසනීය විසදුමක් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

රටපුරා විසිරි සිටින පාසල් දරුවන් හා ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර පාසල් ආරම්භ කෙරෙන හෙට දිනයේ සිට දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කරද්දී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන්නේද නැද්ද යන්න අද දිනයේදී තීරණය කිරීමට නියමිත බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *