“බොලා ආයි මෙහේ එන්න බෑ… ආවොත් බොලාව මරනවා…” වාහනය ඉස්සර කරන්න නොදුන්නාට මන්ත්‍රීගෙන් පොලීසියට ප්‍රහාරයක්

අපේ රටේ දේශපාලනඥයන් හරිම කාර්යබහුලය. ජනහිතකාමී ඒ නායකයන්ගේ වැඩ රාජකාරිවලට දවසත් මදි තරම්ය. සැප වාහනවල නැඟී ගමන් බිමන් යන විට පවා ඔවුන් මහ මඟ ඉගිලී යන්නේ වටිනා කාලය කළමනාකරණය කරගැනීම සඳහාය. එවැනි ජනතා නායකයන් රැගත් වාහන මහ මඟ ගමන් කරන විට සෙසු වාහන නතර කර ඉඩ දිය යුතුය. එසේ නොවෙන්න සුඛෝපභෝගී මෝටර් රථවල සැපට වාඩි වී යන දේශපාලනඥයන්ට කෙන්ති යන්නේය. සයිරන් නලා නාදයට අවනත නොවී ප්‍රභූ වාහනය සමඟ සමාන්තරව ගමන් කරන රියැදුරන් සම්බන්ධයෙන් ඒ නායකයන්ට තරහ යන්නේය. හාම්පුතුන්ගේ මුහුණු බකුසු වනු දැක ගෝලබාලයන් ද මාරාවේෂයට පත් වන්නේය. එවිට පාර මැද නතර කරන සැප වාහනවලින් බහින දේශපාලනඥයන්, ගෝලබාලයන් නළා හඬට අවනත නොවූ රියැදුරන්ට අම්බානට නෙළන්නේය. පසුගියදා බණ්ඩාරවෙල නගරය උණුසුම් වූයේ ද එවැනි දේශපාලන පහරදීමකිනි.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි රැගත් ප්‍රභූ මෝටර් රථය මහ මඟ ගමන් කළ කැබ් රථයකට ඉස්සර කර යෑමට උත්සාහ දරද්දී, ඊට ඉඩ නොලැබී යෑම හේතුවෙන් උරණ වූ මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් මෝටර් රථය නතර කර, එයින් බැස කැබ් රථයේ ඉදිරි පස අසුනේ හිඳ ගෙන සිටි පුද්ගලයාට නොසෑහෙන්න පහරදී ඇත. දෙමළ චිත්‍රපටයක ජවනිකා පෙළක් සේ දිස් වූ එම පහරදීමත් සමඟ බණ්ඩාරවෙල නගරය උණුසුම් වූයේ කැබ් රථයේ ගමන් කරමින් සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ රියැදුරු සහ සහායකයා වීම නිසාය. දැන් අප ඒ කතාව පෙළගස්වන්නේ ජනහිතකාමී දේශපාලනඥයන්ට වෙට්ටු දැමීමට යෑම ඔලූ කටු කුඩු කරගැනීමේ වරදක් බව රටේ ජනතාවට තේරුම් කර දීමටය. කතාව පෙළගැසෙන්නේ මෙසේය.

පසුගිය 10 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා හදිසියේම තම සහායක නිලධාරියා සහ රියැදුරු සමඟ නිල රථයෙන් දියතලාව ප්‍රදේශයට ගමන් කළේය. ඒ මැදවත්ත මහතාගේ වියපත් මෑණියන් රෝගාතුර වී දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවට ලැබුණු ආරංචියත් සමඟය. ඔවුන් දියතලාව රෝහලට යන විටත් ඉර අවරට හැරී තිබිණි. සජීව මැදවත්ත තම මෑණියන්ගේ ගිලන් සයනය අසළට ගිය සැණින්ම වෛද්‍යවරු පවසා ඇත්තේ “අම්මට මේ එන්නත ඉක්මනින් ලබා දෙන්න ඕන. ඒත් අපේ හොස්පිට්ල් එකේ මේ එන්නත ඉවරයි. ඉක්මනට බෙහෙත් එක අරගෙන එන්න.” කියාය.

එසැණින් ක්‍රියාත්මක වූ සහායක නිලධාරියා සහ රියැදුරු මැදවත්ත මහතා මෑණියන් අසළ සිටියදී එන්නත රැගෙන ඒමට බණ්ඩාරවෙල නගරය බලා පිටත් විය. මන්දාරමත් සමඟ හැන්දෑව කෑලි කපන අන්ධකාරයක ගිලී තිබිණි. විදුලි ආලෝකය මැද කැබ් රථය තරමක් වේගයෙන් ගමන් කරනු ලැබුයේ කඩිනමින් එන්නත රැගෙන එන ලෙසට වෛද්‍යවරු උපදෙස් ලබා දී තිබූ හෙයිනි. ඒ අල්ලපනල්ලේ දියතලාව ප්‍රරදේශයේ සිටම පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි රැගත් රිය පෙරහැර ද බණ්ඩාරවෙල නගරය දෙසට ගමන් කරමින් තිබිණි. බණ්ඩාරවෙල නගරයේ වටරවුම ආසන්නයේදී මන්ත්‍රීවරයාගේ සැප වාහනය මැදවත්ත මහතාගේ කැබ් රථය පසු කරගෙන යෑමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ උරණ වූ මන්ත්‍රීවරයා ඇතුළු ආරක්‍ෂක නිලධාරීන් කැබ් රථය නතර කර එහි ගමන් කරමින් සිටි මැදවත්ත මහතාගේ සහායකයාට අමානුෂික ලෙස පහරදී පලාගොස් ඇත. පසුව පහර කෑමට ලක් වූ මැදවත්ත මහතාගේ සහායක නිලධාරියා වන ගෝවින්දපිල්ලෙයි දිල්ශාන් සිවරාසා නමැති පොලිස් නිලධාරියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබිණි.

පසුගිය 10 වැනිදා රාත්‍රි 07.00 ට පමණ සිදු වූ එම සිද්ධිය පහුවදා හිමිදිරිය වන විට ලැව් ගින්නක් සේ රට පුරා පැතිරී ගොස් තිබිණි. ඒ සමඟ ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල අපගේ මාධ්‍ය සගයන් දෙදෙනකු බණ්ඩාරවෙල මූලික රෝහලට ගොස් පහරකෑමට ලක් වූ මැදවත්ත මහතාගේ සහායක නිලධාරියා සමඟ කතා බහ කර තිබිණි. මේ පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා කියන කතාවය.

“එදා සර් එක්ක රාජකාරි වැඩකට යන අතරතුර තමයි සර්ගේ අම්මට අසනීපයි, ඉස්පිරිතාලයට ඇතුළත් කළා කියලා ආරංචිය ලැබුණේ. පස්සේ අපි එදා හවස සර්ගේ අම්මා බලන්න දියතලාව රෝහලට ගියා. ඒ ගිය අවස්ථාවේ අම්මට දෙන්න ඉන්ජක්ෂන් එකක් තියෙනවා. ඒක අපේ හොස්පිට්ල් එකේ නෑ, පිටින් අරගෙන එන්න කියලා වෛද්‍යවරු සර්ට කිව්වා. සර් ඉස්පිරිතාලේ හිටිද්දී අපි බණ්ඩාරවෙල ටවුන් එකට ඇවිත් ෆාමසියකින් බෙහෙත් එක අරගෙන යනකොට බණ්ඩාරවෙල වටරවුමේදී මන්ත්‍රීවරයාගේ වාහනය අපේ වාහනයට ඕවටේක් කරන්න හැදුවා. ඒත් ඕවටෙක් කරගන්න බැරි වුණා. මීටර් පනහක් විතර ඉදිරියට ගිහින් මන්ත්‍රීතුමාගේ ඩිපෙන්ඩර් රථය අපේ වාහනයට ඉස්සර කර, පාර හරස් කරලා නතර කළා.”

“මුලින්ම වාහනයෙන් බැහැලා අපේ වාහනය ළඟට ආවේ මන්ත්‍රීතුමා. ආරක්‍ෂක නිලධාරියෙකුත් මන්ත්‍රීතුමාගේ පස්සෙන් දුවගෙන ආවා. ඒ එක්කම මන්ත්‍රීවරයාගේ ඩ්‍රැයිවරුත් ආවා.”

“බොල කොහොමද මෙහෙම පාරවල්වල යන්නෙ” කියලා මන්ත්‍රීරීවරයා මට ගැහුවා. ඒ එක්කම ඇමැති ආරක්‍ෂක නිලධාරියා අනිත් පැත්තට ගිහින් අපේ වාහනයේ යතුර ගත්තා. එතකොට මම මන්ත්‍රීවරයාට කිව්වා අපි පොලිසියෙන්, මෙන්න මේ විදිහෙ වැඩකට ආවේ කියලා.”

“පොලිසියේ වුණාට බොලාට පුළුවන්ද බණ්ඩාරවෙල රඟන්න.” කියලා මට ආපහු ගැහුවා.

“බොලා ආයි මෙහේ එන්න බෑ. ආවොත් බොලාව මරනවා.” කියලා නැවත මට ගැහුවා. අපි වාහනයෙන් බැස්සෙවත් නෑ. එතැන අපිට වාහනයෙන් එළියට බහින්නවත් ඉඩක් තිබුණේ නෑ. මහ හයියෙන් කෑගගහා තමයි මට ගැහුවේ.

එහෙම ගහද්දීත් අපි කිව්වේ “අපෙන් වරදක් වුණා නම් සමාවෙන්න. ලොකු හදිසියක් අපිට යන්න දෙන්න.” කියලා. ඒත් ඇහුවේ නෑ. මට ගැහුවා. අන්තිමේ ඒ අයටම ඇති වෙලා යන්න ගියා. අපිට පහරදෙනවා බණ්ඩාරවෙල පොලිසියේ රාළහාමිලා දෙන්නෙකුත් බලාගෙන හිටියා. ඒ අයටත් කරන්න දෙයක් නෑ.

“අපේ රියැදුරු මහත්තයාට ගැහුවේ නෑ. මට තමයි හොඳටම ගැහුවේ. මගේ තොල් පැළිලා. කනෙන් කුරු කුරු ගාන ශබ්දයක් එනවා. මූණ අල්ලන්න බෑ රිදෙනවා. පොලිසියේ කියද්දී අපිට මෙහෙම ගැහුවා නම් සිවිල් මනුස්සයෙක් මේ සිද්ධියට මුහුණ පෑවා නම් මොනවා කරයිද.” අමානුෂික ලෙස පහර කෑමට ලක් වී මේ සටහන තබන මොහොත වන විටත් බණ්ඩාරවෙල මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා සමාජය ඉදිරියේ බරපතල ප්‍රශ්නයක් ඉතිරි කර නිහඬ විය. එය කාලයක සිට නොවිසඳෙන ගැටලූවක් බව ද සැබෑය. පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය තව, තවත් පල් වෙන්නට ඉඩ හැර නැවත අපි බණ්ඩාරවෙල දේශපාලන පහරදීමේ සිද්ධිය දෙසට හැරෙමු.

පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ සජීව මැදවත්ත මහතාගේ ආරක්‍ෂක නිලධාරියා සහ රියැදුරු පහර දුන් බව කියමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ රියැදුරු වන ආර්. එම්. බන්දුල රත්නායක ද දියතලාව මූලික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියදී බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඉහෙන් බහින රෝගයක් තරම්වත් නොතිබෙන බව පවසමින් දියතලාව රෝහල් වෛද්‍යවරු විසින් එම පුද්ගලයාගේ ටිකට් කැපීමට තීරණය කළ ද තවදුරටත් ප්‍රතිකාර ලබාගැනීමට ඇවැසි බව පවසමින් ඔහු විසින් බදුල්ල මහ රෝහලට මාරුවක් ඉල්ලා ඇත. අනතුරුව එදිනම එම පුද්ගලයා පොලිස් ආරක්‍ෂාව යටතේ බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා තිබිණි. එදිනම සවස බදුල්ල මහා රෝහල වෙත පැමිණි බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා විසින් සැකකරු පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙම මස 18 වැනිදා දක්වා බදුල්ල රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි. පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරි රසික කරුණාරත්න යන අය ද පසුගිය 13 වැනිදා නීතිඥවරුන් මාර්ගයෙන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබිණි. පසුව එක් අයකුට රුපියල් ලක්‍ෂ පහ බැගින් දෙදෙනාට රුපියල් ලක්‍ෂ දහයක ශරීර ඇප දෙකක් සහ එක් අයකුට රුපියල් දස දහස බැගින් දෙදෙනාට රුපියල් විසිදහසක ඇපයක් මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා නියෝග කර තිබිණි.

පෙළගැසෙන කතාවට අනුව පොලිස් නිලධාරීන්ට පහරදීම සහ පශ්චාත් සිද්ධිය හොඳටම පැහැදිලිය. රටේ නීතිය නැමෙන හැටි, බලයෙන් උදම් වූ දේශපාලනඥයන්ගේ වියරුව බොහොමත්ම හොඳින් පැහැදිලි වන්නේය. එවැනි පසුබිමකදී පෙළගැසෙන කතාවට මේ වචන ටිකත් එකතු කර තැබීමට මට සිතිණි.

මනා උගත්තෝ නිකරුණේ ආරෝවලට නොයති. එසැණින් කෝපයට පත්ව අනුන්ට පහර නොදෙති. කෝපාවිෂ්ටව අසැබි වචන නොකියති. එසේ හැසිරෙන්නේ උගතුන් නොවේ. බුද්ධියෙන් හීන මිනිසුන්ය. ඒ මිනිසුන්ට බලය ලැබුණු විට රන් බැඳි කටුස්සන් ගානට උඩගු වන්නේය. ඔවුන්ට ඉහළින් කපුටෙකුටවත් පියාඹා යෑමට නොහැකි තරමට බලයෙන් උමතු වන්නේය. අපට දුක ජාතියට හිතැති, උගත් බුද්ධිමත් ජනතා නායකයකු වන චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කෝපය පාලනය කරගැනීමට නොහැකිව අසූචි බාල්දියක් ඇඟ හලාගැනීම ගැනය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *