ව්‍යාජ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන්න – පොලිස්පති අජිත් රෝහණ

එළඹෙන උත්සව සමයේ දී ව්‍යාජ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙලෙස ව්‍යාජ පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑම් සිදු කරන කණ්ඩායම් පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වන අතර ඊයෙත් එවැනි සිදුවීමක් වව්නියාව මයිලන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මයිලන්කුලම ප්‍රදේශයේ නිවසකට මෙලෙස පොලිසියෙන් බව අඟවා ඇතුළු වූ සොර කණ්ඩායමක් එම නිවසින් රුපියල් 108,000 කට අධික මුදලක් පැහැර ගෙන තිබෙනවා.

එමෙන්ම වව්නියාව තම්පනේ පුලියන්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ තවත් එවැනිම කණ්ඩායමක් එම නිවසින් රුපියල් ලක්ෂ 3 කට අධික මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

එළඹෙන උත්සව සමයේ මෙවැනි ක්‍රියාකාරකම් රට පුරා වැඩි වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

යම් අවස්ථාවක ඔබගේ නිවසට නිල ඇඳුමෙන් හෝ සිවිල් ඇඳුමෙන් සැරසී පැමිණෙන පොලිස් නිලධාරීන් සතුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත අනිවාර්යෙන්ම තිබිය යුතු බවත්, එම හැදුනුම්පතෙහි අදාළ පොලිස් නිලධාරියාගේ ඡායාරූපය තනතුර සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ලාංඡනය ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ එලෙස පැමිණෙන සෑම පුද්ගලයෙක්ගෙන්ම නිල හැඳුනුම්පත පරීක්ෂාකර බැලීම සඳහා ඉල්ලා සිටීමට සිවිල් වැසියන්ට අයිතියක් ඇති බවයි.

එබැවින් මෙවැනි සැකකටයුතු පුද්ගලයින් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, එවැනි සැකකටයුතු සිදුවීමක් හෝ එවැනි සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ සැකයක් ඇති වුවහොත් වහාම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *