වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත හා දැඩි ආරක්ෂිත කුරුලු විශේෂ අන්තර්ජාලය ඔස්සේ කාලාන්තරයක් තිස්සේ විකිණීමේ ජාවාරමක් සිදුකරගෙන ගිය මාතලේ පුද්ගලයෙකු කුරුල්ලන් 19 ක්ද සමග අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත් වුණා.
වට්ස් ඇප් කණ්ඩායම් කීපයක් සකස් කර ඒ ඔස්සේ මාතලේ ප්‍රදේශයේ පක්ෂි ජාවාරමක් සිදුකෙරෙන බවට පරිසර ක්‍රියාකාරීන් දෙදෙනෙකුගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයට තොරතුරු ලැබී තිබුණා.
මෙම තොරතුරු මත පක්ෂි ජාවාරම පිළිබඳව වහා සොයා බැලීමට වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගේ උපදෙස් මත වැටලීම් ඒකකයේ ප්‍රධානි බී.එස්.සුමනරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.
තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වූයේ මාතලේ නගරයේ පදිංචිව සිටින 28 හැවිරිදි අයකු වට්ස් ඇප් කණ්ඩායම් හතරක් ඔස්සේ මෙරටට ආවේණික ආරක්ෂිත හා දැඩි ආරක්ෂිත පක්ෂීන් අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන යන බවයි.මෙම පක්ෂීන්ගේ ප්‍රමාණය අනුව මිල ගණන් තීරණය කරන බවද අනාවරණය කර ගැනීමට වනජීවී නිලධාරීහු සමත් වුණා.
මාතලේ නගරයේ පිහිටි මෙම නිවස පිටුපස මඩුවක රඳවාගෙන සිටි පක්ෂීන් වනජීවී නිලධාරීන් සොයා ගත්තේ ඒ අනුවයි.
පැටවුන් ලී කුඩු සහිත පෙට්ටිවලට සහ කූඩුවලට දමා නිවස ඇතුළත තබා තිබුණා.
මෙරටට ආවේණික දැඩි ආරක්ෂිත පක්ෂියෙකු වන ලංකා සැළලිහිණින්, ආරක්ෂිත පක්ෂියෙකු වන ලබු ගිරව්, මෙරටට ආවේණික දැඩි ආරක්ෂිත පක්ෂියෙකු වන අළු ගිරව් පක්ෂීන් 19 දෙනකු වනජීවී නිලධාරීන් භාරයට ගත්තා.
ලංකා සැළලිහිණින් වැඩුණු පක්ෂියෙකු සහ පැටවුන් තිදෙනෙක්, ලබු ගිරව් වැඩුණු පක්ෂීන් හතරක්,ලංකා අළු ගිරව් මධ්‍යම ප්‍රමාණයේ වැඩුණු පක්ෂීන් හයක් සහ පැටවුන් හතරදෙනෙක් මෙලෙස වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරු මීට පෙර ගංජා ජාවාරමේ නිරතවීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකි.
අනතුරුව ඔහු පක්ෂීන් අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මාතලේ ප්‍රදේශයේ කැලෑවල ගස්වල බෙන ආශ්‍රිතව පක්ෂීන් බිත්තර දමන අවස්ථා දිගින් දිගටම නිරීක්ෂණය කර, එම පැටවුන් අල්ලා සැකකරුට අලෙවි කරන පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින අතර,එක් පක්ෂියෙක් සැකකරු මිලදී ගෙන ඇත්තේ රුපියල් දහසකටයි.
ලංකා සැළලිහිණි පැටවෙකු රුපියල් තුන්දහසකටද, කතා කරන ලබු ගිරවෙකු රුපියල් දස දහසකටද, වැඩුණු ලබු ගිරවෙකු රුපියල් හයදහසකටද, කතා කරන සැළලිහිණියෙකු රුපියල් තිස්පන් දහසකටද අලෙවි කරන බව සැකකරු වනජීවී නිලධාරීන්ට පවසා තිබෙනවා.
ඔහුගෙන් නිතරම පක්ෂීන් මිලදී ගන්නා ස්ථිර ගැනුම්කරුවන් කිහිපදෙනෙකුම සිටින බවද අනාවරණයවී ඇත. වට්ස් ඇප් ඔස්සේ පක්ෂීන් ඇණවුම් කිරීමේදී මුලින්ම සැකකරුගේ ගිණුම් අංකයට මුදල් බැරකළ පසුව බස් රථ රියැදුරන්ගේ මාර්ගයෙන් අදාළ ප්‍රදේශවලට යැවීමට සැකකරු කටයුතු කර තිබෙනවා.