අපේම දරුවන් දෙදෙනෙක් අතින් සැකසුණු ‘මවුබිම වෙනුවෙන් උඩුගුවනට යන පළමු චන්ද්‍රිකාව’ කක්ෂගත කිරීමට බාරදෙයි

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කර ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාව ඊයේ(18) ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත බාර දුන් බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙම චන්ද්‍රිකාව අප්‍රේල් මාසයේදී ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් කක්ෂගත කරනු ලැබීමට නියමිතයි.

රාවණා 1 ලෙස හැඳින්වෙන මෙය ඝනක චන්ද්‍රිකාවක් වන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි.

මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතිනවා.

ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් වන අතර ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතයි.

එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම,ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නමැති මෘදුකාංගය අත්හදා බැලීම,චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම,කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අරමුණු වනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *