“උතුරේ හමුදාව සෙබළුන් ඉවත් කළොත් සහය දෙන්නම්”

තම කොන්දේසිවලට එකඟ වන්නේ නම් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහය ලබා දීමට තමන් සූදානම් බව තමිල් තේසීය මක්කල් කුට්ටනි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ රඳවා සිටින හමුදා නිලධාරීන්ගෙන් අඩක් ඉවත් කිරීම හා උතුරු–නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක පුරාවිද්‍යා කොමිසම අහෝසි කිරීම යන කරුණු එම කොන්දේසි බව මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.

එම කොන්දේසිවලට අමතරව මෙරට දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ස්ථාපිත ආණ්ඩුවක් කටයුතු කරන්නේ නම් එම ආණ්ඩුවේ ඇමැති ධුර දැරීම පිළිබඳව වුවද සලකා බැලිය හැකි බව ද ඒ මහතා කීය.

රට මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී තිබෙන බව ද එය කඩිනමින් විසඳා ගත යුතු ගැටලුවක් බව ද පෙන්වා දුන් විග්නේශ්වරන් මහතා, එහෙත් තමන් ඇතුළු දෙමළ දේශපාලන නියෝජිතයන් නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවකට සහයෝගය ලබා දෙන්නේ නම් එය කොන්දේසි සහිත වනු ඇති බව ද සඳහන් කළේ ය.

විශේෂයෙන් සිර දඬුවම් නියම වී ඇති දෙමළ දේශපාලන සිරකරුවන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමටත් මේ වන විටත් නඩු ගොනු කර ඇති දෙමළ දේශපාලන සිරකරුවන්ගේ එම නඩු සියල්ල ඉල්ලා අස්කරගෙන ඔවුන් නිදහස් කිරීමත් කළ යුතු බව ද යුද්ධය අවසන්ව වසර 13ක කාලයක් ගත වුවත් තවම ත් උතුරේ ලක්ෂයකට අධික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටින අතර ඔවුන් අඩක් පමණ එම ප්‍රදේශවලින් ඉවත් කළ යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

උතුරු–නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව සොයා බැලීමට ආණ්ඩුව කොමිසමක් පත්කර ඇති බව ද එම කොමිසම පළාත්වල පිහිටි හින්දු පූජනීය ස්ථාන හා දෙමළ බෞද්ධ සිද්ධස්ථාන හඳුනා ගනිමින් එම ස්ථානවල සම්පූර්ණයෙන් ම සිංහල බෞද්ධ සිද්ධස්ථාන පැවති බව ප්‍රකාශ කරන බව ද එසේ ප්‍රකාශ කොට අලුතෙන් එම ස්ථානවල වෙහෙර විහාර ඉදිකරමින් තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මෙම පුරාවිද්‍යා කොමිසම වහා අහෝසි කළ යුතු අතර තමන්ගේ මෙම කොන්දේසිවලට එකඟ වන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දීමට තමන් සූදානම් යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *