ගෝඨාගේ පැමිණිල්ල විවෘත කරයි – සති තුනක් ඇතුළත පිළිතුරු අවශ්‍යයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය අප්‍රේල් 04 වෙනිදා ගොනු කරන ලද පැමිණිල්ල එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහි දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවෙකු විසින් අද (අප්‍රේල් 16) විවෘත කරනු ලැබ ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය (Centre for Justice and Accountability) පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේදී සිවිල් නඩු කටයුත්තක් ආරම්භ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක් කිරීම යන චෝදනා යටතේයි.

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වෙනුවෙන් ඉහත කී නඩුව පවරනු ලැබුවේ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය (CJA) විසිනි.

අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ට එරෙහිව ඇමරිකාවේදී නඩු පැවරීම හඳුන්වනු ලබන්නේ “දේශපාලන උවමනාවක් මත” සිදු වූවක් ලෙසය.

මේ අතර යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසන පරිදි නොතීසි භාර දීමෙන් පසු නඩුවේ අඩංගු චෝදනාවලට පිළිතුරු දීම සඳහා චූදිතයාට සති තුනක කාලයක් හිමි වනවා.

අදාළ චෝදනාවලට සති තුනක් ඇතුළත ලබා දිය යුතු පිළිතුරු මගින් නඩුවේ ගොනු කර ඇති චෝදනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සහ නඩුව අස් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කළ හැකි බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසනවා.

“ඔහු එසේ පිළිතුරු දෙන්නේ නැතිනම් නඩුව ඔහුගේ සහභාගීත්වයෙන් තොරව ද ඉදිරියට යනු ඇත. එමගින් අධිකරණය විසින් ඔහුට විරුද්ධව අපගේ නඩුවේ ශක්තිය සලකා බලනු ඇත” යනුවෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය යනු වධ හිංසා, යුද අපරාධ, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැලැක්වීම සඳහා කටයුතු කරන ආයතනයකි.

යුද පුවත් වාර්තාකාරිනියක වන මරී කොල්වින්ගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය සිරියාවේ අසාද් පාලනයට එරෙහිව ඇමරිකාවේදී නඩු ගොනු කළ අතර ඒ සඳහා සිරියානු ආණ්ඩුව වගකිව යුතු බව 2019 වසරේ ජනවාරි මස තීන්දු වුණා.

එමෙන්ම ජනප්‍රිය ගායකයෙකු සහ ක්‍රියාධරයෙකු වූ වික්ටර් හාරාගේ ඝාතනය සම්බන්ධයෙන් ද යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය ඇමරිකාවේදී නඩුවක් පවරන ලද අතර චිලී රාජ්‍යයේ හිටපු හමුදා නිලධාරියෙකු ඒ සඳහා වරදකරු බව 2016 වසරේදී තීන්දු වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *