පුහුණුකරු තනතුරෙන් හතුරුසිංහ ඉවත් කර නැහැ! – මාලිංග සහ මැතිවුස් හතුරුසිංහ එක්ක අමනාපලු

දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර යළි දිවයිනට කැඳවූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා.

මෙම හමුව පැවැත්වූයේ මැයි 30 වැනිදා ආරම්භවන 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ සිටිය යුතුද නැද්ද පිළිබඳ සංවාදයක් මතුවී ඇති අවස්ථාවකදීයි.

ඉදිරි ලෝක කුසලානය සම්බන්ධයෙන් ඇති සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අවසන්වූ වහාම ක්‍රිකට් බලධාරීන් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත්, නව නායකයකු මෙන්ම නව පුහුණුකරුවකු යටතේ ශ්‍රී ලංකා පිළ ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යන බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

චන්දික හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම මුහුණ දෙන පරාජයන් සහ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ ඔහු අතර ඇතිව තිබෙන මත ගැටුම් මෙයට හේතු ලෙස එම වාර්තාවල සඳහන් වනවා.

ඊට අමතරව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ද දැඩි මත ගැටුමක් පවතින බව වාර්තා වන අතර පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් අසන්ත ද මෙල් හතුරුසිංහ ඉලක්ක කරගනිමින් ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබුණා.

කුසල් ජනිත් පෙරේරා ටෙස්ට් කණ්ඩායමට කැඳවීමට ගත් තීරණය මෙන්ම දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ඉවත්කර ඒ වෙනුවට ලසිත් ඇඹුල්දෙනිය කැඳවීම වැනි තේරීම් කමිටුව ගත් තීරණ පිළිබඳ චන්දික හතුරුසිංහගේ කැමැත්තක් නොතිබූ බව තේරීම් කමිටු සභාපතිවරයා එම පුවත්පතට පවසා තිබුණා.

ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියා සංචාරය අතරතුර චන්දික හතුරුසිංහ එතෙක් දැරූ තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඔහු ඉවත් කළේ ද මෙම මත ගැටුම හේතුවෙන් බව වාර්තා පළ වුණා.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ නායකත්වය දීමට සලකා බලන ක්‍රීඩකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග ද පුහුණුකරු හතුරුසිංහ සමග එතරම් හොඳ සම්බන්ධතාවක් නොදක්වන බව විශ්වාස කෙරෙනවා.

දිනේෂ් චන්දිමාල් එක්දින නායකත්වයෙන් ඉවත්කර ලසිත් මාලිංග පත්කිරීම ගැන චන්දික හතුරුසිංහ කැමැත්තක් නොදැක්වූ අතර ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීමේදී ඔවුන් දෙපල අතර ප්‍රසිද්ධ මත ගැටුමක් ඇති වුණා.

මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකුගෙන් විමසු විට ඔහු පැවසුවේ චන්දික හතුරුසිංහ ඉදිරි ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

හතුරුසිංහ යොදා නොගන්නේ නම් ඒ සඳහා යොදාගත හැකි විකල්ප පුහුණුකරුවන් ගැනද ක්‍රිකට් ආයතනයේ අවධානයට ලක් වී තිබෙනවා.

තාවකාලික පදනම මත ලෝක කුසලානයට පමණක් ටොම් මුඩී වැනි ජාත්‍යන්තර පුහුනුකරුවකුගේ සහය ලබාගත හැකිද යන්න පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සොයා බලා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *