කෑගල්ලෙන් වාර්තාවන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණවල වෙනස්කම් – රට තුළ කොරෝනා ප්‍රභේද වෙනස් වී ඇත්දැයි සැක..පරීක්ෂණ ඇරඹේ

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ වෛරස තත්වයේ ප්‍රභේදවල වෙනස්කම් සිදුව ඇත්ද යන්න පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය දැනටමත් ජාන විශ්ලේෂණ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම ආයතනය වෙත පී.සී.ආර්.පරික්ෂණ සිදුකිරීම සඳහා ලබාදී තිබූ ජෛව සාම්පල හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත යොමුකර ඇති සාම්පල යොදාගනිමින් අදාළ පර්යේෂණය සිදුකරන බවයි එහි  අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ආරම්භ වූ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පී.සී.ආර්. පරීක්ෂණ 80,000 ක් පමණ සිදුකර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් එම ආයතනය සිදුකර ඇති දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,200ක්  වන අතර, මාසය පුරාවටම පී.සී.ආර්. පරීක්ෂණ 36,000 ක් පමණ සිදුකර ඇති බව සඳහන්.

මේ අතර කෑගල්ලෙන් මෑත කාලය තුළ වාර්තාවන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණවල වෙනස්කම් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08) ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් නිසි පර්යේෂණ සිදුකිරීම සඳහා අදාළ තත්වය පිළිබඳව ලිඛිත තහවුරු කරගැනීමක් සිදුකර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ඉන් අනතුරුව එම ආසාදිතයන්ගේ ප්‍රභේදවල වෙනස්කම් ඇත්ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට හැකියාව පවතින  බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *