නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දහවල් යාඥාව සඳහා දේවස්ථානය වෙත ළඟාවෙමින් සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ.
ඔවුන් බස් රථයෙන් බසින්නට පෙර ඒ ආසන්නයේ සිටියදී වෙඩි හඬ ඇසී උද්‍යානයක් මැදින් දිවගොස් ප්‍රහාරක ස්ථානයෙන් පළා ගිය බව ද එම වාර්තාවල සඳහන් වනවා.
ඔවුන් එහි සිට හෙට තරගය පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩාංගනය දක්වාම දිව ගොස් ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.
හෙට (16) ආරම්භවීමට නියමිත තරගය සඳහා සහභාගිවීමේ අරමුණෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
වෙඩි ප්‍රහාරය සිදුවූ වෙලාවේ බංගලිදේශ ක්‍රීඩකයින් දේවස්ථානයේ සිටියේ නම් මීට වඩා තත්ත්වය දරුණු විය හැකිව තිබූ බවයි මාධ්‍ය පවසන්නේ.
ඔවුන් සමග සිටි මාධ්‍යවේදියෙකු ට්විටර් පණිවුඩයක් මගින් පැවසුවේ, බංග්ලාදේශ කණ්ඩායම “වෙඩි තැබීම් සිදු වන අවස්ථාවේදී එම ස්ථානයෙන් ඉවත් වීමට සමත් වූ” බවය.
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ටමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයකින් දන්වා සිටියේ, “වෙඩි තැබීම් සිදුවන අතරතුර කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂා වූ” බවයි.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශක ජලාල් යූනුස් සඳහන් කළේ “ඔවුන් ආරක්ෂිතයි. ඒත් ඔවුන් මානසිකව තැති ගැන්මකට ලක් වෙලා ඉන්නේ. අපි ඔවුන්ට දැනුම් දුන්නා, හෝටලය තුළට ම වෙලා ඉන්න කියලා,” යනුවෙනුයි.