“ඝාතනයට පොලිසියේ 07ක්..පැය තුනක් ඇතුළත දෙදෙනාම මැරුවා..” – රත්ගම රත්කළ ඝාතනයේ සොයාගත් රහස්

ගාල්ල රත්ගම ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මස 23 වෙනිදා පැහැර ගෙන ගිය මංජුල අසේල කුමාර සහ රසීන් චින්තක නම් පුද්ගලයින් දෙදෙනා පහරදී ඝාතනය කොට පුළුස්සා දමා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන වලදී කරුණු රැසක් හෙළි කර ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි මස 13 වනදා පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව සිදුකරන ලද විමර්ශනයේදී මෙම අපරාධය සම්බන්ධයෙන් සියලු කරුණු සතියක් ගත වීමට පෙර අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා.

ඒ සම්බන්ධයෙන් මේවනවිට හෙළිකරගෙන ඇති කරුණු කෙටියෙන් පහතින් දැක්වෙනවා.

*පෙරේදා (21) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා රැගෙන ගොස් පහරදී මරා දමන ලද අක්මීමන, ගෝනාමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඊයේ (22) සමත් වුණා.

*ඝාතනය කර මළ සිරුර වලස්මුල්ල පල්ලෙකන්දට රැගෙන ගොස් රක්ෂිතයකදී ඩීසල් දමා ගිනි තබා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

*මේ ස්ථානය අදාළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස් ඝාතනය කළැයි කියන ස්ථානය ලෙස හඳුනාගෙන ඇති අතර, එම සිරුරු විනාශ කළ බවට කරුණු සැකකරුවන්ගේ ප්‍රකාශවලින් හෙළිදරවු වී තිබෙනවා.

*අපරාධයට සම්බන්ධ යැයි සැක කෙරෙන දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.මේ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ද මේ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණා.

*ඊට අමතරව එම ඝාතනයට පොලිසියේ නිලධාරීන් 07 දෙනෙක් සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇති අතර එම නිලධාරීන් අතර උප පොලිස් පරීක්ෂකවරයකුද සිටිනවා.සෙසු පොලිස් නිලධාරීන් සැරයන් සහ කොස්තාපල් තනතුරුවල අය බව සඳහන්ය.

*මෙසේ ද්විත්ව ඝාතනයන් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිකර ඇත්තේ උප පොලිස් පොලිස් පරීක්ෂකවරයෙකි. මේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මේ ඝාතනයන්ට සම්බන්ධ යැයි දුරකතන විශ්ලේෂණ ඇතුළු අනෙකුත් මූලික සාක්ෂි විශ්ලේෂණයේ දී පෙනී ගියත් මේ වන විට අනාවරණය වෙමින් ඇත්තේ ඔහු එම ද්විත්ව ඝාතනයට සම්බන්ධකමක් නැති බවයි.එහෙත් ඔහු සම්බන්ධයෙන් තව දුරටත් කරුණු විශ්ලේෂණය කරන බවත් අපරාධයක් වසන් කිරීමට ඔහු කටයුතු කළේ දැයි සොයා බලමින් සිටින බවත් වාර්තා වනවා.

*ඝාතනය වූ ව්‍යපාරික තරුණයන් දෙදෙනා සතුව ගිනි අවියක් ඇතැයි පොලිස් පරීක්ෂක කපිල නිශාන්තට තොරතුරක් ලැබී ඇති බැවින් එම ගිනි අවිය සොයා ගැනීමට එම ව්‍යාපාරිකයන් දෙදෙනාව පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරුවේදී පැහැර ගත් බව ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සදහන් කර තිබෙනවා.

* අක්මීමන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස මාස කිහිපයක් කපිල නිශාන්ත සේවයේ නිරතව සිට ඇති බැවින් ඔහු එම ප්‍රදේශය පිළිබඳ අවබෝධයකින් සිටි බැවින් අක්මීමන ගෝනමුල්ල ප්‍රදේශයේ කන්දක් මුදුනේ ඇති පාලු නිවෙසට අත්අඩංගුවට ගත් දෙදෙනා රැගෙන ගොස් ඇති බවත් එහි දී පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත දෙදෙනාටම පහර දෙමින් ගිනි අවිය ඉල්ලා ඇති බවත් හෙළිවී තිබෙනවා.

* එහිදී රසීන් චින්තක නැමැති ව්‍යාපාරිකයා මියගොස් ඇති බවත් අනතුරුව එම මරණය වසන් කිරීමට මංජුල අසේලටද පහරදී ඝාතනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් එසේ ඝාතනය වී ඇත්තේ අත්අඩංගුවට ගෙන පැය දෙක තුනක් ඇතුළත බවද හෙළිවී තිබෙනවා.

*තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමට ඔවුන්ගේ නිවෙස්වලට ගියේ යැයි කියන පිරිස ගමන් ගත් වෑන් රථයත් සොයා ගනු ලැබූ අතර එම වෑන් රථය එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ඉල්ලාගෙන තිබී ඇත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා බව කියැවෙනවා.

*මේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමේ අවස්ථාවට 14 දෙනකු සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් ගමන් ගෙන තිබුණේ ඉහත වෑන් රථයෙන් සහ තවත් රතු පැහැති මෝටර් රථයකිනි. මේ වෑන් රථයේ අංකය ව්‍යාජ එකක් බවට පසුව අනාවරණය වුණා.

*ඒ අතර මේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා පාතාල කණ්ඩායම්වලට ආයුධ සපයන බවට බුද්ධි අංශ මගින් තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන්ද පොලිසිය එම තොරතුරු සනාථ කර ගැනීමට පරීක්ෂණ සිදු වෙමින් පැවැති බව ද වාර්තා වනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *