කොටි බෝම්බ පිපිරීමට ‘ සිවිල් ආරක්ෂක සෙබළෙකුත් ‘ හවුල් !

කිලිනොච්චිය, පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ නිවසක තිබි මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, කළු කොටි සැමරුම සිදුකරමු යන්න සඳහන් කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ජායාරූපයක් සොයා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු කිලිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේදී ත්‍රස්ත විමර්ශන ඒකකය හා කිලිනොච්චිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසනවා.

කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ කිලිනොච්චිය, පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ නිවසක පසුගිය 03 වැනිදා සිදුවු පිපිරීමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 03 වැනිදා සිදුවු පිපිරීම හේතුවෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කළ අතර, පිපිරීම සිදුවු නිවස පරීක්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, කළු කොටි සැමරුම සිදුකරමු යන්න සඳහන් කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ජායාරූපයක් සොයා ගැනිණ. අදාළ පුපුරණ ද්‍රව්‍ය සමඟ දැනට ගුරුවරියක් ලෙස සේවය කරන තුවාල ලත් හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයාගේ 43 හැවිරිදි බිරිඳද පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය පවසනවා.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත අදාළ බෝම්බ සැකසීමේ ක්‍රියාවලියට සම්බන්ධව කටයුතු කළ දැනට සිවිල් ආරක්ෂක බළකායේ කිලිනොච්චිය කලාපයට අනුයුක්තව සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙකු කිලිනොච්චිය රාමනාදන්පුර ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන ඒකකය හා කිලිනොච්චිය ආරක්ෂක අංශ ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන අතර, පුනරුත්තාපනය ලැබීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක බළකායට එක්ව ඇති බවද ආරක්ෂක අංශ පවසනවා. සැකකරුවන් කුමන කටයුත්තක් වෙනුවෙන් අදාළ පුපුරණ ද්‍රව්‍ය සකස් කළේද යන්න සොයා ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වනවා.

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ තබා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවද ආරක්ෂක අංශ පැවසුවා.

අදාළ සිදුවීමෙන් අනතුරුව උතුරු පළාතේ ආරක්ෂාව තර කොට ඇති අතර, ආරක්ෂක අංශ මුරපොළවල් හා සෝදිසි කිරීම් සිදුකරන බව උතුරේ ජනතාව පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *