එජාපයෙන් පැන්නීමට එරෙහි ‘රංජිත්ගේ ඉල්ලීම’ අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99ක් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළා .

තම නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වයෙන් නෙරපීම අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

මීට අදාළ තීන්දුව අද දින දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

වාරණ නියෝගය අයැද සිටීමේදී පැමිණිලි පාර්ශ්වය සත්‍ය කරුණු අධිකරණයට අනාවරණය කිරීම අවශ්‍ය බව අවධාරණය කළ දිසා විනිසුරුවරිය එබැවින් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බව පවසා සිටියා .

කෙසේවෙතත් මෙම නඩුවේ වග උත්තරකරුවන් වන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කොට නඩුව ජූලි මස 27 දා යළි කැදවීමට දිසා විනිසුරුවරිය නියෝග කළා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ එජාප උප නායක රවි කරුණානායක ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *