තනිවෙලා හිටියත් මම ඒ තනිකම තුළ ජීවිතේ විඳිනවා. ඒත් හැම දෙයක්ම අල්ලගෙන නැහැ – දයාන් විතාරන

ගීතයක් තෝරා ගැනීමේදී ප්‍රමිතියක් ඇති ගීත තෝරා ගන්නෙ කොහොමද ?

ගොඩක් ගීත රචකයන්ගෙන් ඇහුවොත් ඒ අය කියන දෙයක් තමයි දයාන්ට දෙන පදවැල් වෙනස් කරනවා කියන ඒක. මම මට ගෝචර වෙන විදිහට වෙනස් කරනවා. එහෙම නැත්නම් ප්‍රවීණ ගී පද රචකයෙකුට මම ඒ ගී පදවැල් පෙන්නලා සුදුසු තත්ත්වයේ තියෙනවද කියලා අහනවා. මට මතකයි සජිත් චතුරංග කියන ගීත පද රචකයාගේ ගීතයකුත් මම ගායනා කළා. ඔහු ඒකෙ ලියලා තිබ්බා “දිවුරුම් දිදී” කියලා. ඒක මම වෙනස් කළා “දිවුරා කියා” කියල. අපි සාමාන්‍යයෙන් කියන්නේ “දිවුරා කියා” කියලා. “දිවුරුම් දිදී” කිව්වම අපිට උසාවියක් මතක්වෙනවා. ඒ වගේම “ඔබ යන්න ගියා” කියනවට වඩා “ඔබ නික්ම ගියා” කියලා කිව්වම ඒකේ යම්කිසි වෙනසක් තියෙනවා.

ඔබ මේ ක්ෂේත්‍රයට ආවේ ගායකයෙක් ලෙස නොවෙයි. ඡායාරූප ශිල්පි දයාන් විතාරණ කොහොමද ගායකයෙක් වුණේ?

ඇත්තම කියනව නම් මම සිහින මැව්වේ ගායකයෙක් වෙන්න. මම 1982 දී නන්දා මාලිනිය ළඟට එන්නේ සංගීත ආශ්‍රමය විවෘත කරද්දී. ඒ ගැන පත්තරේක දැන්වීමක් දැකලා. ඒ ඇතුළත් වූ දවසේ තමයි දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, දමයන්ති ඒකනායක, වසන්තා තිලකාංගනී, ඉන්දිරා කාරියවසම් අනූෂා මල්වත්ත වැනි අද ප්‍රවීණයිනුත් ආශ්‍රමයට ඇතුළු වුණේ. මාවත් නලින් ජිනේන්ද්‍ර අල්විස්වත් තෝරා ගත්තා ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගවලට අත්වැල් ගායනයට කීර්ති පැස්කුවෙල් සමග. ‘සත්‍යයේ ගීතය’ අවසානය දක්වාම අපි හිටියා.

ඔය අතරෙ තමයි කැමරාව මගේ අතට ආවේ ‘සත්‍යයේ ගීතය’ බංකු යට කැමරාව තියාගෙන විටින් විට පින්තූර අරගෙන තමයි ටිකෙන් ටික ඡායාරූපකරණය පටන් ගත්තේ. හැබැයි ගායනයට වඩා ඉක්මනට ඡායාරූපකරණයෙන් මට තැනක් ලැබුණා. එතකොට මගේ ගායන පැත්ත පසුබැස්සා. මුලින්ම මම පටන් ගත්තේ සංගීතය අනූනවයෙදි නන්දා මාලිනී ගුරුතුමිය මගේ චිත්‍රාගාරයට ආවා පින්තූර ගන්න. ඒ ‘මලට රේණු’ කැසට් එකට. එතකොට තමයි මිස් මට කිව්වේ “දයාන් ඔයාට හොඳට සිංදු කියන්න පුළුවන් එකේ ඇයි බලාගෙන ඉන්නේ සිංදුවක් කියන්නකෝ” කියලා. එතැන සුනිල් ආරියරත්නයනුත් හිටියා. මම ඒ වෙලාවෙම කිව්වා “සුනිල් සර් එහෙනම් මට සිංදුවක් ලියල දෙන්නකෝ” කියලා.

මාස දෙකයි ගතවුණේ. සුනිල් ආරියරත්නයන් ගීය ලියලා මට ගෙදරටම ගෙනැත් දුන්නා. ‘වැටෙන් එහා’ මගේ මුල්ම ගීය වුණා. නන්දා මිස්ම තමයි කිව්වේ රෝහණ වීරසිංහයන්ට දෙන්න කියලා තනුව සහ සංගීතය හදන්න. මම සිංග්ලංකා එකට ගිහින් මේ සිංදුවත් එක්ක සිංදු හතරක් රෝහණ අයියට දුන්නා. යමුනා මාලිනී, යශෝධා විමලධර්ම, බන්දුල නානායක්කාරවසම් අනෙක් සිංදු ලියලා දුන්නා. ‘නමක් නොදන්නා මලක්’ බන්දුල ලිව්වා. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් එක්ක ඒක ගායනා කළා. ‘ඇල්ලෙන් නාලා සඳ සේ’ ගීතය යමුනා ලිව්වා. ඒක නිරෝෂා විරාජිනී එක්ක ගැයුවා. ‘තුගු ගිරි කුළ සිප ඇදෙන වලාකුළු’ ගීය යශෝධා ලියුවා.

වැටෙන් එහා සිංදුවට පස්සේ ‘මගේ ජීවිතයේ’ ජනප්‍රිය වුණ පද මාලාව ප්‍රියනන්ද විජේසුන්දරගේ. සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. ‘මගෙ ජීවිතයේ’ ප්‍රදීප් බෝගහවත්තට රෝහණ අයියා මියුසික් කරලා ගායනා කරපු ගීතයක්. ප්‍රියනන්ද අදටත් මට මුණ ගැහිලා නැහැ. ප්‍රදීප් මට කිව්වා දයාන් අයියේ රෝහණ වීරසිංහ මට සිංදු හතරක් කරල තියෙනවා. ඒ සිංදු මට වඩා ඔයාට තමයි ගැළපෙන්නේ කියලා. ඉන්පස්සේ ඒ ගීත හතරම මම ඉල්ලගෙන ගායනා කළා. ඒ එකක් තමයි ‘මගෙ ජීවිතයේ’. ඒක ඉතිං ඇත්තටම මගේ ගීයක් නෙවෙයි ප්‍රදීප් මට පරිත්‍යාග කළ ගීයක්.

මේ ගීතය ඇත්තටම නිලූෆර් පෙරේරා හදපු තනුවක්. පත්තර මල්ලී නුවන් ලියනගේ මට කිව්වා “දයාන් අයියේ අපේ ගෙදර ළඟ ඉන්නවා ලස්සනට මෙලඩි දාන ගෑණු ළමයෙක්. මම ඔයාට එයාගෙ මෙලඩි ටිකක් ගෙනත් දෙන්නම්” කියලා. ඒ මෙලඩි එකට ලියල තිබුණේ ‘සහතික ටික වේයෝ කනවා’ කියල පද ටිකක්. ඩැෆඩිල් මල පදමාලාව ලියුවේ චාමින්ද රත්නසූරිය. මෙලඩිය ලස්සන හින්ද මම චාමින්දට කිව්වා ලියන්න කියලා. ඒ ඇපල් මල ගීය ජනප්‍රිය කාලේ. මේක බටහිර මෙලඩියක් නිසා චාමින්ද අදහස් කළා ඩැෆඩිල් මල හොඳයි කියලා. මම ටිකක් අදිමදි කළා ඩැෆඩිල් වගේ ඉංග්‍රීසි නමක් කියන්න. ඒත් සිංදුවේ හැටියට ඒක ගැලපෙනවා කියලා හිතුනා. කරුණාරත්න විජේවර්ධන තමයි මියුසික් කළේ. අපි ඉතිං කතා වුනා මේ සිංදුව අහන්න කෙනෙක් නැතිවෙයි. ඒ නිසා අපි අපිම අහමු කියලා. ඒ හින්දා අපි මේක පුලූවන් තරම් වියදම අඩු කරලා කරමු කියලා කතා කර ගත්තා. ඒ කාලේ රුපියල් තුන්දාහක්වක් ඔය සිංදුව කරන්න වියදම් වුණේ නැහැ. නිකං ආසාවට ජොලියට තමයි සිංදුව කළේ. ඒත් ඉතිං හිතා ගන්න බැරි තරමට සිංදුව ජනප්‍රිය වුණා.

ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබෙ සෙනෙසහ ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි

රවී සිරිවර්ධන මට මේ වචන ටික දුන්නා. එදා 2002 ජනවාරි 01 වැනිදා. රෝහණ අයියා කිව්වා දයානන්ද පෙරේරාට අද පළවැනිදා අපි දයාන්ගේ ට්‍රැක් දෙකක් කරමුකෝ කියලා. ‘ඔබෙ සුසුම් පවන් සලයි’ එදා ටැක් හදපු ගීයක්.

පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතක දැනුනි නම් නොවේ මේ තරම් සුසුම්

මේකත් එදා පළවැනිදා හදපු ට්‍රැක් එකක්. ලියුවේ සුනෙත් රූපසිංහ. මාතලේ මගේ පාසලේම මට වඩා ගොඩක් බාල මල්ලි කෙනෙක්. ‘ඔබෙ සුසුම් පවන් තුළින්’ තමයි රවී සිරිවර්ධනව හඳුනා ගත්තේ. ‘ඩැෆඩිල් මලෙන්’ තමයි චාමින්ද රත්නසූරියව හඳුනාගත්තේ. සුනෙත් රූපසිංහව හඳුනා ගන්නේ ‘පුදසුනක නිසල බවෙන්’ ‘සිත්තම් කරමින්’ අයිරාංගනී මද්දුම බණ්ඩාරව හඳුනා ගන්නවා. එය ඇගේ මුල්ම ජනප්‍රිය ගීය වුණා. රංජි අමරාවතීගේ ‘මල් රේණුවක්’ ගීය. ඇය හාරිස්පත්තුවේ කිවිඳියක්. මේ වගේ බොහෝ අය ජාතික තලයට එන්නේ මගේ ගීතවලින්. ඒක මට ලොකු සතුටක්. මට පුලූවන් වෙනවා පද රචකයින් කිහිප දෙනෙක්ටම මා සමගින්ම මේ ගමන යෑමට ආරම්භයක් ලබා දීමට.

මේ අතර තමයි ඔබ ගංගොඩවිල සෝම හිමියන් ගැන ඉතා සංවේදී ගීයක් ගයන්නේ?

දැයම පුබුදුවාලූ නිමල පහන නිවුණා
අවිඳු අඳුර දුරලූ නුවන පහන නිවුණා

ඔව්. සෝම හාමුදුරුවෝ 2003 දී අපවත් වුණා. මේ සිද්ධිය ඇහුවාම අපි හරියට කම්පා වුණා. චාමික මුණසිංහට තමයි අදහසක් එන්නේ සෝම හාමුදුරුවො ගැන ගීයක් නිර්මාණය කරන්න. ‘දැයක් පුබුදුවාලූ’ කියන වචනයත් තියාගෙන චාමික ආරාධනා කරනවා රවී සිරිවර්ධනට සෝම හිමියන් ගැන ගීයක් ලියන්න. එච්.එම්. ජයවර්ධනටත් ඒ වෙලාවෙම කිව්වා තනුවක් දාන්න.

ඔබ තෝරාගත් ඡායාරූපකරණ ක්ෂේත්‍රයට සහ ගායන ක්ෂේත්‍රයට අම්මගෙ කැමැත්තක් තිබුණද?

තාත්තා නැති වෙනවා මට අවුරුදු දහ තුනේදී. තාත්තා පියසේන විතාරණ. හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නිරංජලී සුනේත්‍රා ලොකු අක්කා. පොඩි අක්කා නිර්මලී සාවිත්‍රි. තාත්තට ලොකු උවමනාවක් තිබුණා මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න. තාත්තා හැම දෙයක්ම මගේ වම් අතට දීලා වමත පුරුදු කරන්න තමයි ක්‍රියා කරලා තියෙන්නේ. මොකද වමත් පන්දු යවන්නෙක් හරි වමත් පිති කරුවෙක් හරි කරන්න බලා ගෙන. ඒත් මම වමත පාවිච්චි කළේත් නැහැ. ක්‍රිකට් පිත්තක් ඇල්ලූවේවත් නැහැ. ඊට වඩා වෙනම ගමනක් ගියා. මගේ ඡායාරූප කලාවට අම්මගෙන් ලොකු සහායක් ලැබුණා. නාලිනි ඬේසිබෙල් ජයසූරිය අම්මා. ගාමණී ජයසූරියගේ ඥාති සොහොයුරියක්. අම්මා තමයි මම ඡායාරූප ගනිද්දී ලයිට් ඇල්ලූවේ. මේක් අප් වැඩට උදව් කළේ. මම ඉපදුනේ නුවර එළියේ. තාත්තා පළාත් පාලන නිලධාරියෙක්. ඒ නිසා තැනින් තැනට මාරු වුණා. අපිට ඒ නිසා පාසල් කීපයකට යන්න සිද්ධ වුණා. දවසක් වැඩ ඇරිලා ගෙදර ඇවිත් තාත්තා මහන්සියි කියලා නිදා ගත්තා. ඒ වෙලාවේ හෘදයාබාධයක් හැදිලා තාත්තා නැති වුණා. මට දුක මගේ ගොඩක් දේවල් තාත්තා දැක්කෙ නැහැ. ඒත් කොහේ හරි ඉඳලා මට ආශිර්වාද කළා කියලා මම හිතනවා. මට සහායට කවුරුත් හිටියෙ නැහැ. මම ගන්න ඡායාරූප සලාකා එකට ගිහින් ප්‍රින්ට් කරන් ආවේ අම්මා.

මවුනෙ සදා විඳින දෑත ඔබ කිරිකර පෙවූ
කිරේ ණය ගෙවන්නට මා වැන්දත් නිරතුරු

මම අම්මා වෙනුවෙන්ම ගැයූ ගීයක්. අම්මත් මේ ගීය රස වින්දා. මම විවාහයක් කර ගන්නෙ නැහැ. අම්මව බලාගෙන ඉන්නවා කියල තමයි ගීතයෙන් කියන්නේ.

ඔබ දැන් අනුගමනය කරන්නේ ඒ ගීයෙන් කියන දේද?

දැන්නම් ඉතිං අම්ම නැති නිසා විවාහ වෙන්නත් පුලූවන්. දැන් තේරුමක් නෑ. ජීවිතේ තියෙන අනිත්‍ය තත්ත්වයත් එක්ක බැඳීම්වලින් මම නිදහස්. මම ගොඩක් දේවල් සැලසුම් කරල නැහැ. සින්දු තුන්සිය හැත්ත පහක් කළ වෙන කෙනෙක් නම් මේ වෙද්දී තමන්ව මාර්කට් කර ගන්න යමක් කරනවා මම ලද දෙයින් සතුටු වෙලා ඉන්න මනුස්සයෙක්. මම නිදහසේ ඉන්න කැමතියි. හැම දේම අත හැරීම මගේ ගතියක්. මගේ මුල්ම සංගත තැටි දෙක දැන් හොයා ගන්න නැහැ. අලෙවි වෙලා. මට හිතෙනවා සී.ඞී. හතරක එකතුවක් කරන්න පෙන් ඩ්‍රයිව් එකක් විදිහට. මගේ සින්දු සංරක්ෂණය වෙන්න ඕනේ නිසා. ප්‍රසංගයක් කරන්නත් ආසාවක් තියෙනවා.

සියලූ දේ අත් හැරීම අවසානයේ ඔබට ගිහි ජීවිතයෙන් ඈත් වෙන්න හිතෙයිද?

මම කිසිම දෙයක් ඕනෑවට වඩා බලාපොරොත්තු වෙන්නෙ නෑ. බලන්න මේ ගෙදර දිහා. කිසිම පිළිවෙලක් නැහැනේ. මට ජීවිතයේ අනිත්‍ය වැටහිලා තියෙන්නේ. හැම දෙයක් තුළම තියෙන්නේ නිස්සාරත්වය. අම්මත් නෑ.. තාත්තත් නෑ. ජීවන සහකාරියකුත් නෑ. තනිවෙලා හිටියත් මම ඒ තනිකම තුළ ජීවිතේ විඳිනවා. ඒත් හැම දෙයක්ම අල්ලගෙන නැහැ. හෙට ඉඳීවිද කියලා මගේ බලාපොරොත්තුවක් නැහැ. අද මිය යන්න පුලූවන්. යම් කාලෙක මට හිතුනොත් මේ හැම දේකින්ම මිදෙන්න ඕනෙ කියල ඒක එදාට සිදුවෙයි. මේක හැමෝටම හැමෝවම අහිමි වෙලා යන ලෝකයක්. හැමදේම අහිමි වෙද්දී මාව අහිමි වුණත් කාටවත් කරන්න දේකුත් නැහැ.

– අජිත් අලහකෝන් –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *