මමත් ඇගේ හීන ලෝකය බිඳින්නේ නැතිව නිශ්ශබ්දව ඉන්නවා – දයාන් විතාරණ

මුහුණු‍පොත හරහා අපිට විවිධාකාර ගැහැනු, පිරිමි මුණ ගැසෙනවා. ඔවුන් අතර ඉන්න අපිව හඳුනන, ඒත් අපි නාඳුනන අය සමහර වෙලාවට අපිට ගොඩාක් සමීප වන අවස්ථාත් තියෙනවා. ඒ වගේ බැඳීම් වලින් හොඳ වගේම නරකත් වෙන්න පුළුවන්. මුහුණු ‍පොතේ පෙරළුණු ‍පොත් සඳහා මම මේ වෙලාවේ කියන්න යන්නේ ඒ විදියේ අත්දැකීම් දෙකක් ගැනයි.

මුලින්ම මම කියන්නම් මුහුණු ‍පොත නිසා මට සිදුවූ යහපත් දෙයක් ගැන. මගේ ගී අසන ඒ ගීතවලට ප්‍රියකරන බොහෝ අය facebook තුළින් මට හමුවෙනවා. දවසක් ඒ විදියට එක්තරා කෙනෙක් මට facebook හරහා දන්වා තිබුණා මගේ ගීතවලට ඔහු බොහෝ ප්‍රියකරන බව. ඔහුගේ නම රුමේෂ් චේතිය ලියනගේ. මමත් ඔහුට ස්තුති කළා. ඉන් පසුව facebook හරහා අපි නිතර chat කළා. මේ විදියට ටික කාලයක් යද්දී අපි හොඳ මිතුරන් වුණා. ඊට පස්සේ අපි මුණ ගැහිලා කතාබහ කරලා ඒ මිතුදම තවත් තහවුරු කරගත්තා. අපි දෙන්නගේ හිතවත්කම රුමේෂ් එයාගේ තාත්තට දවසක් කියලා තියෙනවා. ඒ වෙලාවේ ඔහුගේ තාත්තා කියලා තියෙන්නේ බොහොම අපූරු කතාවක්.

පුතේ ඔය දයා විතාරණ කාගේ කවුද කියලා දන්වද? ඔයාගේ සීයාගේ නංගිලා දෙන්නා විවාහ වෙලා හිටියේ ඔය දයාන් විතාරණගේ පියාගේ මල්ලිලා දෙන්න එක්ක.

අද වෙද්දී ඒ සීයලා, ආච්චිලා නැති හින්දා අපේ නෑ කමත් ඉබේම දුරස් වෙලා ගිහින්. හැබැයි මේ සිදුවීමත් එක්ක ඒ නෑදෑකම අලුත් වුණා. යාළු කමයි. නෑදෑ කමයි එකතු වුණාම රුමේෂ් හා ඔහුගේ බිරිඳ චමිත්‍රී අද මගේ සමීපතම මිතුරන් දෙදෙනෙක් බවට පත්වෙලා. මම තනියම ජීවත් වෙන කෙනෙක්. මේ දෙන්න අද මං ගැන නිතර හොයලා බලනවා. ප්‍රසංග සඳහා යන්නෙත් මේ අය සමගයි. එය තමා මුහුණු ‍පොතෙන් මට වූ යහපත්ම අත්දැකීම.

අනිත් අත්දැකීම අයහපත් එකක්ද?

අයහපත් එකක්ද කියලා නිර්වචනය කරන්න මට තේරෙන්නේ නැහැ. ඒ සිදුවීමට සම්බන්ධ තැනැත්තියගේ නම් ගම් විස්තර නම් මට කියන්න බැහැ. සිදුවීම විතරක් මම කියන්නම්.

හැමදාම උදේ facebook යද්දී හායි කියලා එවපු පණිවුඩ ‍පෝලිමක් මට දැක ගන්න ලැබෙනවා. ඒ මට ආදරේ කරන මගේ ගීතවලට ආදරය කරන රසික පිරිස් එවන පණිවුඩ. ඒ හැමෝටම හායි කිය කියා උත්තර දාන්න මට බැහැනේ. මම කරන්නේ මගේ ගීතයක් අරගෙන මේ හැමෝටම forward කරන එකයි. ඒ වෙලාවට මම මේ අය කවුද කියලා හොයලා බලන්නේ නැහැ. ගෑනු, පිරිමි, බාල, මහලු මේ හැමෝටම මම මගේ ගීත යවනවා. දවස ගානේ මට හායි කියලා එවන අයට මම දවස ගානේ මගේ ගීත යවනවාත් ඇති. මොකද ඉතින් මටත් හැම දෙයක්ම මතක නෑනේ.

ඔන්න එක දවසක් මට එක කාන්තාවකගෙන් Messenger පණිවුඩයක් ලැබෙනවා. ඇයි ඔයා මට දවස් පතා සින්දු එවන්නේ කියලා තමයි ඒ පණිවුඩයේ තිබුණේ. එයා මට දවස් ගානේ හායි කියලා Massage එවන කෙනෙක් බව මම දැන ගත්තේ ඒ වෙලාවේ. ඒත් මම ඇයට කිසිම පිළිතුරක් යැව්වේ නැහැ. ඊට පසුත් ඇය මට දිගට හරහට Messenger හරහා පණිවුඩ එවන්න පටන් ගත්තා. ඒවා දකිද්දී තමයි මට තේරුනේ මේ තැනැත්තියගේ සිතුවිලි ගැන.

මම මේ විදියට ගීත යවන්නේ ඇයට පමණක් බවයි ඇය හිතාගෙන ඉඳලා තියෙන්නේ. facebook හරහා මම ඇයව හොඳට පරීක්ෂා කරලා ඇය ගැන ආදර හැඟීමක් ඇති කරගෙන මේ විදියට දවස් පතා ඇයට ගීත යවනවා කියලයි ඇය හිතලා තියෙන්නේ. මොකද මගේ ගීත බහුතරයක් ආදර ගීතනේ. මම ඇයට වැඩිපුරම යවලා තියෙන්නෙත් ඔය වගේ ආදර ගීත

ඒත් ඔයා මට ආදරේ කරනවද කියලා ඇය කිසිම දවසක මගෙන් අහලා නැහැ. මං ඔයාට කැමතියි කියලා ඇය කිසිම දවසක මට කියලත් නැහැ. එහෙම කිව්වා නම් මට තිබුණා ඊට ගැළපෙන පිළිතුරක් දෙන්න. ඒත් ඇය දවස ගානේ එවන පණිවුඩ තුළින් මට ඇගේ හැඟීම් තේරෙනවා. මම ඒ එකකටවත් පිළිතුරක් යවන්නේ නැහැ. අදටත් ඇගේ පණිවුඩ මට ලැබෙනවා. තවමත් ඇය ඇගේ හීන ලෝකය තුළ ජීවත් වෙනවා. මමත් ඇගේ හීන ලෝකය බිඳින්නේ නැතිව නිශ්ශබ්දව ඉන්නවා.

– ආරියවංශ කුලතිලක

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *