තල්මසාගේ කුසේ පොලිතින් කිලෝ ග්‍රෑම් හතලිහක් තිබෙද්දී ‘ජාත්‍යන්තරයට ගිය’ කටුගස්තොට කුණු ගොඩ

පිලිපීනයේ වෙරළට ගොඩ ගැසූ මළ තල්මසෙකුගේ කුස තුළ තිබී පොලිතින් මලු කිලෝ ග්‍රෑම් හතලිහක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

‘D’Bone Collector’ කෞතුකාගාරයේ සේවකයන් පිරිසක් විසින් තල්මස් සිරුරු සොයා ගනු ලැබුවේ මාර්තු මස මුලදීයි.

ෆේස්බුක් සමාජ ජාලයේ සටහනක් තබමින් කෞතුකාගාරය පවසා තිබුණේ, තල්මසෙකුගේ කුස තුළ මෙතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් දුටු පළමු අවස්ථාව මෙය බවයි.

පොලිතින් සහ ප්ලාස්ටික් මලුවලට අමතරව කුස තුළ තිබී හාල් ගෝනි දහසයක් ද සොයා ගනු ලැබුවා.

මේ අතර 2010 වසරේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව ලොව වෙරළ කලාපය දූෂණය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයේ පසු වනවා.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට:

එක් පුද්ගලයෙකු උත්පාදනය කරන කැළිකසළ ප්‍රමාණය කිලෝග්‍රැම් 5.1

උත්පාදනය කෙරෙන සම්පූර්ණ කැළිකසළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 7,429,768

උත්පාදනය කෙරෙන ප්ලාස්ටික් කැළිකසළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 5,163,689

ශ්‍රී ලංකාව වසරකට කළමනාකරණය නොකරන ලද කසළ මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් බැහැර කරන බව ද ඉහත කී වාර්තාවේ සඳහන් වනවා.

කෙසේ නමුත් එකී වාර්තාව සැකසීම සඳහා කරන ලද උපකල්පනය කිරීම් සහ ගණනය කිරීම්වල පැවති දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය වී ඇති බව සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය මීට ඉහතදී බීබීසී පුවත් සේවයට සඳහන් කර තිබුණා.

මේ අතර, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි වැවක තිබෙන ප්ලාස්ටික් බෝතල් දැක්වෙන මෙම ඡායාරූපය ෆේස්බුක්හි පළ වී ඇති අතර එය බීබීසී පුවත්සේවය ද අද සිය වෙබ් අඩවියේ පළ කර තිබුනා.

කටුගස්තොට ‘එලිෆන්ට් බාත්’ නමින් මෙම ස්ථානය හැඳින්වෙනවා.

මේ අසලින් ගලා යන්නේ මහවැලි ගඟයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *