රටටම කුඩු බෙදූ තාත්තාට ජීවිතය ඉල්ලා පුතුන් හඬා වැටෙද්දී ‘මරණ දඬුවම දෙමින් ‘ විනිසුරු සමාජයට දුන් පණිවිඩය

තම පියාණන්ට මරණ දඬුවම නියම නොකරන්නැයි ඉල්ලමින් ඔහුගේ දරු දෙදෙනා සහ මව සහ අධිකරණ ශාලාව දෙවනත් කරමින් හඬද්දී සමාජය මුහුණ දෙන අනතුර පිළිබඳව පෙන්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (5) මරණීය දඬුවම් නියම කළා.

කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන විත්තිකරු දරුවන් මෙන්ම සිය මවද රැක බලාගන්නා හෙයින් ඔහුට මරණ දඬුවම නියම නොකරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා විත්තිකරු ජාවාරම් කිරීමට සූදානම් කරගෙන තිබූ කුඩු ග්‍රෑම් 693 සමාජගතවූයේ නම් විත්තිකරුගේ දරුවන් වැනි දරුවන් විශාල පිරිසක් විනාශ වන බවත් විත්තිකරුගේ මව වැනි මව්වරුන් විශාල පිරිසකට ඇඬීමට සිදුවන බවත් පෙන්වා දෙමින් විත්තිකරුට මරණීය දඬුවම ලබා දුන්නා.

කුඩු ජාවාරම මේ වන විට ලංකාවට පමණක් නොව ලෝකයටම ව්‍යසනයක් වී ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට උසාවියට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් මාලිගාවත්ත ප්‍රදේශයේ හෙරොයින් බෙදාහරිනු ලැබු කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඞ් උවයිස් නමැත්තාට මෙලෙස දඬුවම් දීමට විනිසුරුවරයා කටයුතු කළා.

මරණීය දඬුවම් නියම කළ හැකි හෙරොයින් ග්‍රෑම් 02ක ප්‍රමාණය මෙන් 300 ගුණයක හෙරොයින් ප්‍රමාණයක් විත්තිකරු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයිද කුඩු ජාවාරම්කරුවකු නිසා මුළු සමාජයක්ම, ජන කොට්ඨාසයක්ම විනාශ වන හෙයින් අනෙකුත් කුඩු ජාවාරම්කරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසංක මෙන්ඩිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා කුඩු ජාවාරම්කරුට එලෙස මරණීය දඬුවම් ලබා දුන්නා.

2014 අප්‍රේල් මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 693.09 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තතිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *