වරායේ සිරවී ඇති කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර් කෝටි දෙකහමාරක් ඉල්ලයි

දැනට වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර අඩංගු සහිත කන්ටේනර් බහලුම් නිදහස් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි දෙකහමාරක (ඩොලර් මිලියන 25) ක් අවශ්‍ය බවට දන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඊයේ (27) දිනයේ ලේඛණයක් ඉදිරිපත් කළ බව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ අදාළ ඩොලර් ප්‍රමාණය කඩිනමින් නොලැබුනොත් වරායට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුද තවදුරටත් වැඩි වීමට ඉඩ ඇති බවයි.

මේ වනවිට පවතින ඩොලර් හිගය හේතුවෙන් ඉන්දියාව,ඩුබායි,ඔස්ට්‍රේලියාව,චීනය,නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයකම අපනයනකරුවන් විසින් මෙරට ණයවර ලිපි භාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලුමද එරට අපනයකරුවන් බැහැර කර ඇති බව සෙනෙවිරත්න මහතා පවසයි.

එම භාණ්ඩ තොග අඩංගු කන්ටේනර් බහලුම් මෙම සතිය තුළ කඩිනමින් නිදහස් කර ගැනීමට මහ බැංකුව ක්‍රියා කරනු ඇතැයි විස්වාසය පළ කරයි.

දැනට වරාය පරිශ්‍රය තුළ හාල් මැස්සෝ,පරිප්පු,සුදු ලුණු,ධාන්‍ය වර්ග,කිරිපිටි අඩංගු කන්ටේනර් බහලුම් 800ක් ද,සිනි කන්ටේනර් බහලුම් 600ක්ද,වෙනත් ආහාර අඩංගු කන්ටේනර් බහලුම් 100ක්ද වශයෙන් කන්ටේනර් 1500කට ආසන්න ප්‍රමාණයක් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යවන ලද වාර්තාවේ සඳහන් කර තිබේ.

ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ සීනි තොග සඳහා ඩොලර් ලබා දීමේදී ඩොලරයක් සඳහා රුපියල් 202ක මුදලකට ලබා දෙන ලෙසත්,දැනට රජය මගින් පනවා ඇති පාලන මිලෙහිද වෙනසක් ඉදිරියේදී සිදු කරන ලෙසය.

ඒ කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා සමග සිදු කරන ලද සාකච්ඡාවේදී රජයේ පාර්ශවය විසින් දැනුම් දී ඇත්තේ මෙලෙස නිදහස් කර ගන්නා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවම මිළකට ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසයි.

එහෙත් දැනට වරාය විසින් අය කරනු ලබන ප්‍රමාද ගාස්තු,රේගු බදු මෙන්ම ඩොලරයේ මිළ ඉහළ ගිය අවස්ථාවේදී අදාල භාණ්ඩ ආනයන රටවල පැවති මිළ ගණන් හා සංසන්දනයේදී දැනට වෙළඳ පොළේ පවතින මිළට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම ඉතා අසීරු බවයි ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

රටේ පවතින ඩොලර් හිගය සම්බන්ධව පසුගිය සිකුරාදා (24) පැවති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ කන්ටේනර් බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට රජයේ ආයතන ප්‍රධානීන්ට නියෝග කර තිබුණි.

ඉන්දික ශ්‍රී අරවින්ද

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *