“පොලිසියේ ඉන්න යටිකූට්ටුකාරයෝ” – චූදිත නියෝජ්‍ය පොලිස්පති කරන හෙළිදරව්ව මෙන්න

තමන්ට එරෙහිව චෝදනා නගන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ යටිකූට්ටුකාරයෝ බව රහස් ලේඛන සැකකරුවන්ට දී දොළ පිදේනි ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින එෆ්.සී.අයි.ඩී භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තම සේවා කාලය දීර්ඝ කළහොත් ප්‍රශ්නයක් වන නිසා දෙපාර්තමේන්තුව තුළින්ම තමන්ට එරෙහි කුමන්ත්‍රණයක් දියත් වන බවයි.

චෝදනා එල්ල වී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මාධ්‍යවේදියෙකු සමග මේ සම්බන්ධයෙන් දැක්වූ අදහසුයි මේ.

“ඔය රහස් ලිපි ලේඛන ඔය විදිහට දෙන්න පුළුවන්ද? එකම ලේසි වැඬේ කොම්පියුටරයකට දමන එක විතරයි. ඕවා බොළඳ කතා. අපේම පොලිස් නිලධාරියකු කවුරු හරි දැන් බයවෙලා ඇති මගේ සේවා කාලය දීර්ඝ කරයි කියලා. ඉතින් මොකක් හරි ගුලියක් අඹරනවා.

ඇයි හදිසියේම ඔය චෝදනාව පොලිසියේ සමහරුන්ට මතක් වෙලා තියෙන්නේ. මොන චෝදනා එල්ල කළත් සත්‍යය නැති කරන්න බැහැ. සත්‍යය හෙළි වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවට ඇප කැපවෙලා සේවය කරන අයට ඔය වගේ චෝදනා එල්ල වෙනවා. පොලිසිය තුළත් විවිධ පිරිස් ඉන්නවා.

ඉතා හොඳ අවංක පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒ වගේම යටිකූට්ටුකාරයෝ ඉන්නවා. ඒ වගේම විවිධ අපවාදවලට ලක්වෙලා මුහුණ දෙන්න බැරිව ඒ අපවාද තවත් එකෙක්ගෙ කරපිටින් යවන්න සූදානම් වෙලා ඉන්න උදවියත් ඉන්නවා. තමන්ගේ තනතුරට තට්ටුවෙයි කියලා බයෙන් සිටින අයත් ඉන්නවා.

මේ හැම දේටම මුල මගේ සේවා කාලය දීර්ඝ කළහොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතන අය මාව කොහොම හරි ඉවත් කරන්න සැලසුම් කරනවා. ඉදිරියේදී ප්‍රශ්නවලට මුහුණ දෙනවා.

අකුල් හෙලන පොලිස් නිලධාරියා කවුද කියලා ඔබට කියන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය මගේ කටින් ඒක හෙළි කරගන්න. එයා කවුද කියලා ඔබ හොඳට තේරුම් අරගෙන මගෙන් ප්‍රශ්න නඟනවා. පොලිස් සේවය තුළ, අප කළ උසස් සේවය සමහරුන්ට පෙනෙන්නේ නැහැ. ජනප්‍රිය රැල්ලට පොලිස් නිලධාරියකු ලක්වුණොත් එයාට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අද සමාජයේ තත්ත්වය ඕකයි. “

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *